නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ජූලි මස 12 වන දින නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 11 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

ඒ අනුව, නිලාවේලි, පරවි දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති වි‍රෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, මීටර් 225 ක් පමණ දිගකින් යුත් තහනම් දැලක්, කිමිදීම සඳහා යොදා ගන්නා පා වරල් යුගලක් සහ මුහුණු ආවරණයක් ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා නිලාවේලි වනජීවී දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, ත්‍රිකුණාමලය කාක දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී වලංගු ධීවර බලපත්‍ර රහිතව සහ නාවික සීමාවට අයත් මුහුදු කළාපයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, තෙප්පමක්, කිමිදීම සඳහා භාවිතා කරනු ලබන ඔක්සිජන් සිලින්ඩර් 2 ක්, පා වරල් යුගලක්, මුහුණු ආවරණයක්, සහ අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 18 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන්, මුහුදු කූඩැල්ලන් සහ අනෙකුත් උපකරණ ඉදිරි ක‍ටයුතු සඳහා ත්‍රිකුණාමලය වරාය පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.