නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 21 දෙනෙකු අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (14) නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 21 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

ඒ අනුව, නිලාවේලි, පරවි දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති වි‍රෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 2 ක්, මීටර් 220 ක් පමණ දිගකින් යුත් තහනම් දැල් 2 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා පා වරල් යුගල් 2 ක් මුහුණු ආවරණ 2 ක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 319 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, ත්‍රිකුණාමලය ලංකාපටුන ප්‍රදේශයට නැගෙනහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, ඩිංගි යාත්‍රාවක්, කිමිදීම සඳහා භාවිතා කරනු ලබන පා වරල් යුගලක්, මුහුණු ආවරණයක් සහ තහනම් දැලක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් උපකරණ ඉදිරි නීතිමය ක‍ටයුතු සඳහා මූතුර් ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.