නාවික තක්සලාවේ අභිමානවක් ස්වර්ණ ජයන්ති සැමරුම අදයි
 

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය ආරම්භ කර අදට (ජූලි 15) වසර 50 ක් සපිරේ. මෙම විද්‍යාපීඨය 1967 ජුලි මස 15 වන දින අධිකාරීත්වයට පත්කරන ලද අතර, එම දිනය නාවික හා සාගරික විද්‍යාපීඨයෙහි ආරම්භක දිනය ලෙසත් නාවික හා සාගරික විද්‍යාපීඨ දිනය ලෙසත් සලකනු ලබයි. එම අභිමානවත් ස්වර්ණ ජයන්ති සැමරුම් උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී විය.

මෙම ස්වර්ණ ජයන්ති සැමරුමට සමගාමීව නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේ දී ‘Course made good, destination excellence’ දරණ ග්‍රන්ථය එළි දැක්වීමේ උත්සවය උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. එහිදී, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු රෝහිත පෙරේරා මහතා විසින් නාවික හමුදාධිපතිතුමා වෙත ග්‍රන්ථයේ පළමු පිටපත පිරිණමන ලදී. ඉන් අනතුරුව පැමිණ සිටි ආරාධිත අමුත්තන් සඳහා ද එම ග්‍රන්ථය පිළිගැන්වීය.

මෙම අවස්ථාවන් සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මිය, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා, විශ්‍රාමික නාවික හමුදාධිපතිවරුන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්, නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.

නාවික හා සාගරික විද්‍යාපීඨයෙහි ආරම්භක නියමුවා‍ වන්නේ කොමාණ්ඩර් (උපදේශක) එම්ජීඑස් පෙරේරා මහතාය. නාවික හමුදාවේ මුල්ම පුහුණූ ආයතනය වන“HMCyS රංගල” ආයතනයේ අවසන් නියමුවා ලෙස ද එතුමන් කටයුතු කරන ලදී. මෙතුමන්ගේ දැනුම හා අත්දැකීම් මත නාවික විද්‍යාපීඨයක අවශ්‍යතාව සපුරමින් නාවික හා සාගරික විද්‍යා පීඨය ආරම්භ කෙරිණි.

ඉන් අනතුරුව, 1992 වර්ෂයේදී උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාව ශ්‍රී ලංකාවේ දී ආරම්භ කළ අතර, ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) ටිඑම්ජේ මෙන්ඩිස් මහතා එහි පළමු නිළධාරි පුහුණු කිරීමේ නිලධාරියා විය. පසුව, අවි, ජල තරණ, නාවික ශිල්පය, දිය යට සංග්‍රාම වශයෙන් පාසල් 4 ක් එහි ස්ථාපිත කෙරිණි. මෙලෙස ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී අද වන විට නාවික හා සාගරික විද්‍යාපීඨයේ පාසල් 22 ක් සහ දෙපාර්තුමෙන්තු 2 ක් ස්ථාපිතව ඇති අතර, නාවික පුද්ගලයින් 2000 කට අධික පිරිසක් පුහුණුවීම් වල නිරත වේ. තවද, එහි විවිධ විෂයන්ට ආවේණික වූ පොත්පත් හා වාර්ථා වලින් පරිපූර්ණ වූ ග්‍රන්ථ 21,000 කින් පමණ සමන්විත නාවික පුස්තකාලයක් ද එහි ඇත.

ක්‍රීඩා කටයුතු වෙනුවෙන් ද නාවික හා සාගරික විද්‍යාපීඨය විශාල මෙහෙයක් සිදු කරනු ලබයි, ඒඅනුව, ටෙනිස්, මේස පන්දු, පා පන්දු, මුෂ්ටි ප්‍රහාර, මළල ක්‍රීඩා, පිහිනුම් හා රිද්මයානුකූල ව්‍යායාම (ජිම්නාස්ටික්), හොකී ,බැඩ්මින්ටන්, වොලිබෝල්, පැසිපන්දු, ගෝල්ෆ්, රග්බි, ස්කෝෂ්, ක්‍රිකට්, දුණු විදීම, රුවල් ඔරු හා පැදි යාත්‍රා, ඉලක්කයට වෙඩි තැබීම, කාය වර්ධන වැනි ක්‍රීඩාවන්වල නිරත වීම සදහා නවීන පහසුකම්වලින් සමන්විත ක්‍රීඩාගාර, ක්‍රීඩා පිටි සහ පිහිණුම් තටාක නාවික හා සාගරික විද්‍යාපීඨය සතුය. තවද, සෞන්දර්යාත්මක කුසලතා හා න්‍යායාත්මක පුහුණුවන් සදහා නවීන තාක්ෂණයෙන් සමන්විත ශ්‍රවණාගාරයක් ද විද්‍යාපීඨය සතුය.

2007 වර්ෂයේදී නාවික හා සාගරික විද්‍යාපීඨය ශ්‍රී ලංකාවේ ප්‍රථම ආරක්ෂක විද්‍යාපීඨය ලෙස ISO 9001: 2000 තත්ව සහතිකයෙන් පිදුම් ලබන ලදී. 2010 වර්ෂයේදී ISO 9001: 2008, ප්‍රමිති සහතිකය සහ 2016 වර්ෂයේදී ISO 9001:2015 ප්‍රමිති සහතිකය ද ලබා ගන්නා ලදි. මීට අමතරව 2016 වර්ෂයේදී නාවිකයන්ගේ උසස් පුහුණු පාඨමාලාවන්ගේ ගුණාත්මකභාවය තෘතීය සහ වෘත්තීය අධ්‍යාපන ආයතනය විසින් පරික්ෂා කිරීමෙන් අනතුරුව ජාතික වෘත්තීය නිපුනතා සහතික (NVQ) ප්‍රධානයන් සදහා මෙම තක්සලාව සුදුසුකම් ලබා ඇත.

අඩසිය වසක්පුරා නිහඩ සේවයක නිරත වූ නාවික තක්සලාව සිය ස්වර්ණ ජයන්ති සංවත්සරය අභිමානවත් ලෙස සමරමින් විශිෂ්ඨත්වයේ නවාතැනට නිසි මග පෙන්වමින් ඉදිරියටත් මෙම මහඟු ජාතික මෙහෙවරෙහි නිරත වනු ඇත.

රට රැකුමට උරදෙන සුරු නැවියෝ
අණදෙන සටනට විරු නැව් පතියෝ
දියගොඩ දෙකෙහිම එඩි පෑ විරුවෝ
ඔබගෙන් පුහුණුව ලද හෙළ දරුවෝ