වැලිසර ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය සඳහා ඩිජිටල් ශබ්ද විකාශණ යන්ත්‍ර සහ එල්ඊඩී විදුලි ලාම්පු ප්‍රදානය කෙරේ
 

චීනයේ යුහාන් විශ්වවිද්‍යාලයේ පාඨමාලාවන් කීපයක් හැදෑරූ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අළුතින් ස්ථාපනය කරන ලද ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානයේ ප්‍රයෝජනය සඳහා පරිත්‍යාගයන් කිහිපයක් සිදු කරන ලදී.

ඒ අනුව එම ඩිජිටල් ශබ්ද විකාශණ යන්ත්‍ර 24 ක් සහ එල්ඊඩී විදුලි ලාම්පු 24 ක් සංකේතාත්මකව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිරිනැමීම අද (17) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා නාවික නිලධාරීන් 12 දෙනෙකු සහභාගී වී සිටියහ.   

නාවික හමුදාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ගංවතුර, නාය යෑම් ඇතුළු ස්භාවික ආපදාවන්ට ලක්වී පීඩාවට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කර ගනිමින්, මෙම ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය පසුගිය ජුනි මස 25 වැලිසර ගැමුණු ආයතනයේ  ස්ථාපිත කරන ලදී.