ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථානය සමුද්‍රීය ආරක්ෂක රාජකාරී සේවා ගමන් වාර 10,000 සම්පූර්ණ කරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා සමුද්‍රීය ආරක්ෂක පහසුකම් සැපයීමේ රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව, මේ දක්වා ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථායෙන් සිදු කළ සේවා ගමන් වාර සංඛ්‍යාව අද දහවල් වන විට 10,000 ඉක්මවා ඇත.

2015 වර්ෂයේ සිට මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර, ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් පමණක් රුපියල් බිලියන 3 කට අධික ආදායමක් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා ආරක්ෂක පහසුකම් රාජකාරි තුළින් රජයට අත්කරදීමට නාවික හමුදාවට හැකිවි තිබේ. එමෙන්ම, කොළඹ සහ හම්බන්තොට යන මෙහෙයුම් මධ්‍යස්ථානය හරහා ද මෙවැනි සමුද්‍රීය ආරක්ෂක රාජකාරී පහසුකම් සපයනු ලබයි.

සාගරික ආරක්ෂක මෙහෙයුම් රාජකාරී කර්තව්‍යක් වශයෙන් සැළකෙන මෙම ක්‍රියාවලිය සඳහා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය සපයනු ලබන අතර, එමගින් සාගරික කටයුතුවල නිරත වන පාර්ශවයන්හට ආරක්ෂිත සාගර කළාපයක් ඇති කිරීම මෙන්ම බාධාවකින් තොරව යාත්‍රා කිරීමේ අවස්ථාව ලබා දීම ද අපේක්ෂා කෙරේ. ඒ අනුව, වෙළඳ නෞකාවන් සඳහා ආරක්ෂාව සපයනු ලබන සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සතු අවි ආයුධ ලබා ගැනීම, ගබඩා කිරීම සහ නිකුත් කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරෙණ වගකීම් වේ.

අතිගරු ජනාධිපති තුමන්ගේ උපදෙස් අනුව සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැළසීම නාවික හමුදාව විසින් 2015 නොවැම්බර් මස 13 වන දින භාර ගත් අතර, ඉන් උපයනු ලබන ආදායම රජයේ ඒකාබද්ධ අරමුදල වෙත සෘජුවම බැර කිරීමට කටයුතු කෙරේ.