2 වන දකුණු ආසියානු ප්‍රවීණයන්ගේ මේස පන්දු තරඟාවලියේ ජයග්‍රාහකයින් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

2 වන වරට පවත්වන ලද දකුණු ආසියානු ප්‍රවීණයන්ගේ මේස පන්දු තරඟාවලියේ ජයග්‍රහණ දිනා ගත් නාවික පුද්ගලයන් අද (ජූලි 24) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. එහිදී, නාවික හමුදාධිපතිතුමන් ඔවුන් හට සුභපැතුම් එක් කළ අතර, එම ජයග්‍රහණය අගය කරනු වස් ඔවුන් හට විශේෂ ත්‍යාගයන් පිරිනැමීමට ද කටයුතු කෙරිණි. එම අවස්ථාව සඳහා නාවික හමුදා ‍මේස පන්දු සංචිතයේ ලේකම්, කපිතාන් අනිල් බෝවත්ත මහතා ද සහභාගී විය.

මෙම තරඟාවලිය පසුගිය ජූලි මස 20 වන දින සිට 23 වන දින දක්වා ගල්කිස්ස, ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ කීඩාංගනයේදී පැවැත්විණි. මේ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් වයස අවුරුදු 40 ට වැඩි කාණ්ඩයේ කණ්ඩායම් 2 ක් සහ අවුරුදු 50 ට වැඩි කාණ්ඩයේ කණ්ඩායමක් සහභාගී විය.

ඒ අනුව, සාමාන්‍ය නාවික පීඩීඅයිපී සිල්වා වයස අවුරුදු 40 කාණ්ඩයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර, එය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා ගත් එකම රන් පදක්කම බවට සනිටුහන් විය. තවද, තරඟාවලියේ මේස පන්දු යුගල අංශයේ අනුශූරතාවය හිමි කර ගනිමින් එහි රිදී පදක්කම දිනා ගැනීමට පාලක ප්‍රධාන සුළු නිලධාරී ජීඑල්ඒඩී ප්‍රසන්න සහ සාමාන්‍ය නාවික පීඩීඅයිපී සිල්වා හට හැකි විය. මේස පන්දු කණ්ඩායම් තරඟ අංශය නියෝජනය කළ කපිතාන් පූජිත විතාන, ලුතිනන් ප්‍රසාද් සිල්වා, පාලක ප්‍රධාන සුළු නිලධාරී ජීඑල්ඒඩී ප්‍රසන්න සහ සාමාන්‍ය නාවික පීඩීඅයිපී සිල්වා යන නාවික පුද්ගලයින්ගෙන් සමන්විත කණ්ඩායම එම අංශයේ ලෝකඩ පදක්කම හිමි කර ගැනීමට සමත් විය.

මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, මාලදිවයින සහ නේපාලය නියෝජනය කරමින් තරඟකරුවන් 226 දෙනෙකු සහභාගී වී සිටි අතර, තරඟාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකික තරඟකරුවන් අතරින් වැඩිම පදක්කම් ප්‍රමාණයක් ලබා ගැනීමට නාවික හමුදාව ක්‍රීඩකයන් සමත් වීම විශේෂ කරුණක් ලෙස සඳහන් කළ හැක.