ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ජනතා අයිතියට
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් අධියරක් අද (අගෝස්තු 07) නිමාවට පත් විය. ඒ අනුව, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් නිපදවන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් රිදීමාලියද්ද පින්නගොල්ල, රිටිගහ අරාව සහ මහියංගනය, සෙනෙවිගම ශ්‍රී ධර්මාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානය යන ස්ථානයන් හිදී ජනතා අයිතියට පත් කෙරිණි.

පින්නගොල්ල ගම්මානයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 350 කට, රිටිගහ අරාව ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 465 කට සහ ශ්‍රී ධර්මාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ ස්ථා‍පිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම විහාරස්ථානයේ ඉගනුම ලබන දරුවන් 54 දෙනෙකුට හා එම ප්‍රදේශයේ පවුල් 485 කට පිරිසිදු පානීය ජලය ලබා දීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

තවද, පින්නගොල්ල සහ රිටිගහ අරාව ප්‍රදේශයේ ස්ථාපනය කරන ලද ජල පිරිපහදු යන්ත්‍ර සදහා වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය මගින් මුල්‍යමය දායකත්වය ලබා දී ඇත. එමෙන්ම, ශ්‍රී ධර්මාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදි කළ ජල පිරිපහදු යන්ත්‍රය සඳහා ‘ෆයර් ෆ්ලයි මිෂන්’ සිංගප්පූරු ආයතනයේ මුල්‍යමය දායකත්වය ලබා දී ඇති අතර, එය ඔවුන්ගේ මූල්‍යමය දායකත්වය යටතේ ඉදි කළ 7 වන ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය වශයෙන් හදුන්වා දිය හැක.

මේ දක්වා මෙවැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 249 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 118,864 කට හා පාසැල් දරු දැරියන් 81,690 කට වැඩි පිරිසකට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කර ඇත. තවද, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.