ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 49 දෙනෙකු සමග ට්‍රෝලර් යාත්‍රා 12 ක් අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් මුර සංචාරක වේග ප්‍රහාරක යාත්‍රාවන් මගින් ඊයේ (අගෝස්තු 07) රාත්‍රියේ සහ අද උදෑසන මුර සංචාරක කටයුතු අතරතුරදී ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් 49 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 12 ක් අත්අඩංගුවට ගන්නා ලදී.

ඩෙල්ෆ්ට් දූපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 2 ක් සහ කොවිලන් තුඩුවට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී ට්‍රෝලර් යාත්‍රා 10 ක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. මෙම ඉන්දීය ධීවරයින්, තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙන යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් මසුන් ඇල්ලීමේ නිරතව සිට ඇති අතර, එය සාගර සම්පත් විනාශ කරන මසුන් ඇල්ලීමේ ක්‍රමයක් ලෙස හදුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් ට්‍රෝලර් යාත්‍රාවන් සහ භාණ්ඩ කරෙයිනගර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙතද, ධීවරයින් කන්නසන්තුරය ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙතද රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට නියමිතය.

එමෙන්ම, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශවික සුහදත්වය සංකේතවත් කිරීමක් ලෙස පසුගිය අගෝස්තු මස 03 වන දින ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වීම හේතුවෙන් මෙරට අත්අඩංගුවේ පසු වූ ඉන්දීය ධීවරයින් 77 දෙනෙකු යලි එරටට භාර දීම සිදු කෙරිණි.