නාවික හමුදාධිපතිතුමන් ‘සයුරළ’ නෞකාවේ සංචාරයක නිරතවෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (අගෝස්තු 08) නාවික හමුදාවට අළුතින් එක් වූ අධි තාක්ෂණික ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව වන ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේ නිරීක්ෂණ චාරිකා වාරයක නිරත විය. නෞකාව අධිකාරියට පත් කිරීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමන් විසින් සිදු කළ ප්‍රථම චාරිකා වාරය මෙය බවට සනිටුහන් වනු ඇත.

එහිදී, නාවික හමුදාධිපතිතුමන් විසින් නෞකාවේ මෙහෙයුම් කටයුතු පිළිබඳව විමසා බැලීමක් සිදු කළ අතර, එහි අණදෙන නිලධාරී, කපිතාන් නිශාන්ත අමරෝසා මහතා ඇතුළු නැව් මුළුව ඇමතීමට ද නාවික හමුදාධිපතිතුමන් කටයුතු කරන ලදී. නෞකාව මෙරටට රැගෙන ඒමේ සිට අධිකාරියට පත් කිරීමේ අවස්ථාව දක්වා ඔවුන් දක්වන ලද කැපවීම නාවික හමුදාධිපතිතුම‍න්ගේ පැසසුමට ලක් වූ අතර, ඔවුන්ගේ එම කර්තව්‍ය අගය කරනු වස් නෞකා කාර්යය මණ්ඩලය වෙත ප්‍රශංසාත්මක ලිපි ප්‍රදානය කිරීමක් ද එහිදී සිදු කෙරිණි. එම අවස්ථාව සඳහා බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේ ‍ගෝවා නැව් තඨාකාංගනයේ නිෂ්පාදනය කරන ලද, මෙම නෞකාව පසුගිය ජූලි මස 28 වන දින කොළඹ වරායට සේන්දු වූ අතර, එය අගෝස්තු මස 02 වන දින අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ශ්‍රී ලංකා ‍නාවික නෞකා සයුරළ වශයෙන් අධිකාරියට පත් කෙරිණි. මෙය නාවික හමුදාව සතු විශාලතම අධි තාක්ෂණික නෞකාවයි.