මාරාන්තික නොවන ආයුධ පිළිබඳ විධායක සම්මන්ත්‍රණය (NOLES) 2017 වැලිසර දී ආරම්භ වෙයි
 

ඇ‍මරිකා එක්සත් ජනපද පැසිෆික් විධානය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධාන පෙලේ බහු පාර්ශ්වීය ආරක්ෂක සහයෝගිතා වැඩසටහනක් වන මාරාන්තික නොවන ආයුධ පිළිබඳ විධායක සම්මන්ත්‍රණය (NOLES) 2017 සහ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී අද (අගෝස්තු 21) ආරම්භ විය. මෙහි සමාරම්භක අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා මහතා සහභාගී විය.

එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක උපදේශක ජේකොබ් ඉංග්ලිෂ් මහතා, නාවික හමුදා අධ්‍යක්ෂ නාවික ගොඩබිම් මෙහෙයුම්, කොමදෝරු උදේනි සේරසිංහ මහතා, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, ඇමරිකා එක්සත් ජනපද මැරීන් බලකා සහ ශ්‍රී ලංකා නාවික හමුදා ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් රැසක් ද සහභාගී වී සිටියහ.

මාරාන්තික නොවන ආයුධ පිළිබඳ විධායක සම්මන්ත්‍රණය අංශ 2 ක් යටතේ ක්‍රියාත්මක වේ. එහි ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ශ්‍රී ලංකා නාවික හමුදා සහ ඇමරිකා එක්සත් ජනපද මැරීන් බලකා නාවිකයන් ඒකාබද්ධව සිදු කරනු ලබයි. මේ අතර, එහි සාකච්ඡා සම්මන්ත්‍රණය මෙම මස 30 වන දින කොළඹ ගලදාරී හෝටලයේදී ආරම්භ කිරීමට නියමිතය. තවද, ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් හට මාරාන්තික නොවන අවි ආයුධ පිළිබඳව දැනුම ලබා දීමේ අරමුණින් යුතුව ඇමරිකා එක්සත් ජනපද මැරීන් බලකා සාමාජිකයින් 17 දෙනෙකු ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයන් සඳහා එක්වීමට ද කටයුතු සූදානම් කර ඇත.

16 වන වරටත් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණු අතර, මාරාන්තික නොවන හැකියාවන් ප්‍රයෝජනයට ගැනීම මගින් ජීවිත හා දේපල වලට ඇතිවිය හැකි අලාභහානී වලක්වා ගැනීම සහ කලහකාරී වාතාවරණයන් හමුවේ ඇතිවිය හැකි මානව හිමිකම් උල්ලංගනය වීම් වලක්වා ගැනීම ප්‍රධාන කොට සැළකිය හැක. මෙහි විධායක සම්මන්ත්‍රණය තුළින් සියළුම පාර්ශ්වකරුවන් හට සාම. සහායක ක්‍රියාකාරකම් පිළිබඳ සාකච්ඡා කිරීමට අවශ්‍ය පොදු වේදිකාවක් නිර්මාණය කිරීම අපේක්ෂා කෙරේ.