නව නාවික හමුදාධිපතිතුමා මාධ්‍යවේදීන් අමතයි
 

21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් සිය ධූරයේ රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතීමට හැකිවීම පිළිබඳව තමා අතිශයින් සතුටු වන බව අද දින (අගෝස්තු 23) නාවික හමුදා මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා ඔවුන් සුහදව පිළිගනිමින් පැවසීය. එවන් භාරදූර වගකීමක් භාර දීමට තමන් කෙරහි තබන ලද විශ්වාසය පිළිබඳව නව නාවික හමුදාධිපතිවරයා අතිගරු ජනාධිපතිතුමන් සහ රජයට සිය හෘදයාංගම කෘතඥතාවය එහිදී පළ කර සිටියේය. ‍

දිවයින් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට ඉතා ශක්තිමත් නාවික හමුදාවක් අත්‍යාවශ්‍ය බව පැවසූ නව නාවික හමුදාධිපතිතුමා, එවන් නාවික හමුදාවකට නායකත්වය ලබා දීමට තම නාවික දිවියෙන් ලද දැනුම, අත්දැකීම් සහ ශක්තිය උපයෝගී කර ගත හැකි බව ද පැවසීය.

ශ්‍රී ලංකාව සතු සාගරික සම්පත් උපරිම ලෙස උපයෝගී කර ගනිමින් රටේ සංවර්ධනයට සහ වාණිජ දියුණුවට දායක වීමට නාවික හමුදාව මෙහෙය වීමට තමා අපේක්ෂා කරන බව නාවික හමුදාධිපතිතුමන් පැවසීය. සමස්ථ ජනතාවට විපුල ඵල නෙලා ගැනීමට හැකි වන ලෙස රටෙහි සාගරික සම්පත් ආරක්ෂා කිරීමට හැකි වන සේ නාවික හමුදාව ශක්තිමත් කිරීමට ද කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසන ලදී.

නාවික හමුදාවේ පරිපාලන කටයුතු වලදී මෙන්ම, රජය විසින් නාවික හමුදාවට ලබා දෙන මූල්‍යමය ප්‍රතිපාදන භාවිතයේදී උපරිම විනිවිධ භාවයකින් යුතුව කටයුතු කරන බව නාවික හමුදාධිපතිතුමන් එහිදී අවධාරණය කර සිටියේය.

මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට කැපවූ වෘත්තීමය වශයෙන් පරිපූර්ණ නාවික හමුදාවක් බිහි කිරීම තමාගේ ඒකායන අභිප්‍රාය බව පැවසූ එතුමන්, ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියට සහ නාවික හමුදා ප්‍රතිපත්තීන්ට අනුකූලව රටේ සංවර්ධනයට දායක වීමට නාවික හමුදාව මෙහෙයවීමට කටයුතු කරන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදී.