මුහු‍දේ ගිලෙමින් සිටි ඉන්දීය ධීවරයින් සිව් ‍දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගැනේ
 

උතුරු නාවික විධානයට අනුයුක්ත පී 494 වේග ප්‍රහාරක යාත්‍රාව මගින් අද අළුයම (අගෝස්තු 31) අනතුරකට ලක්ව මුහුදේ ගිලෙමින් සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු ප්‍රදේශයේ මුර සංචාරක රාජකාරියේ යෙදී සිටියදී එම වේග ප්‍රහාරක යාත්‍රාව මගින් අනලතිව් දූපතට බස්නාහිර දෙසින් නාවික සැතපුම් 8.5 ක පමණ දුරකදී අනතුරට පත්ව ගිලෙමින් තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව සහ ධීවරයින් පිරිස නිරීක්ෂණය කොට ඇත.

ඒ අනුව, කඩිනමින් ක්‍රියාත්මක වූ නාවික පුද්ගලයින් අනතුරට පත් වූ ධීවරයින් 4 දෙනා නිරුපද්‍රිතව මුදවා ගෙන ඔවුන්ට අවශ්‍ය ප්‍රථමාධාර, ආහාර සහ පානීය ජලය ලබා දී, කන්කසන්තුරයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී. උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික කිමිදුම් අංශ‍යේ විශේෂ කණ්ඩායමක් විසින් මේ වන විට අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාව ගොඩට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටී. තවද, ඉන්දියානු බලධාරීන් සමග සම්බන්ධීකරණය වී, බේරා ගත් එම ධීවරයින් 4 දෙනා නැවත ඉන්දියාව වෙත යැවීම සඳහා අවශ්‍ය කටයුතු ද මේ වන විට සූදානම් කරමින් පවතී.