කේරළ ගංජා සමග පුද්ගලයන් තිදෙනෙකු (3) අත්අඩංගුවට
 

නාවික හමුදාව වෙත ලැබුණු බුද්ධි තොරතුරු මත ස්ථාන දෙකකදී කේරළ ගංජා සමග පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව, උතුරු නාවික විධා‍නයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ යාපනය පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (සැප්තැම්බර් 04) සිදු කළ සෝදිසි කිරීමකදී යාපනය, කරෙයිනගර් සහ සන්කානි යන ප්‍රදේශයන් අතරතුරදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කේරළ ගංජා තොගය යතුරුපැදියක් මගින් රැගෙන යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර, එම පුද්ගලයන් සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය පොලිස් විශේෂ කාර්යය බලකා මූලස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, පසුගිය 2 වන දින උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මන්නාරම පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී මන්නාරම, තරකන්කොඩ්ඩායි ප්‍රදේශයේ යතුරුපැදියක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 3.860 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එම පුද්ගලයා, යතුරුපැදිය සහ ‍කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.