නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරක් මත බටහිර නාවික විධානයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයින් පිරිසක් සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (සැප්තැම්බර් 04) සිදු කළ වැටලීමක දී මීගමුව මාළු වෙළඳසැලේ විකිනීම සඳහා සූදානම් කර තිබූ කස මෝරුන් (Thresher Shark) කිලෝග්‍රෑම් 272 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් කස මෝර මාළු තොගය සහ පුද්ගලයා ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කෙරිණි.

"ඇලෝපිඩේ" කුලයට අයත් මෙම කස මෝරා, ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ජීවත් වන වඳ විමේ තර්ජනයට ලක්ව සිටින දුර්ලභ ගණයේ මත්ස්‍ය ‍විශේෂයක් ලෙස සැලකේ. ධීවර හා ජලජ සම්පත් පනත යටතේ, ධීවරයින්ට හෝ විනෝදයට හා ක්‍රීඩාවක්‌ ලෙස මසුන් අල්ලන කිසිම අයෙකුට මෙම මසුන් ඇල්ලීම තහනම් කර ඇත. තවද, යම්කිසි බෝට්‌ටු හිමියකු හෝ නියමුවකු මියගිය කස මෝරකුගේ සිරුරක්‌ හෝ සිරුරක යම් කොටසක්‌ හෝ බෝට්‌ටුව තුළ තබා ගැනීම මෙන්ම වෙනත් බෝට්‌ටුවකට මාරු කිරීම, ගොඩබෑම, ගබඩා කිරීම, විකිණීම හෝ විකිණීම සඳහා ඉදිරිපත් කිරීමට ද අවසර නැත.

මීට අමතරව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය 03 වන දින ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයන් 12 දෙනෙකු සහ ඔවුන්ට අයත් ඩිංගි යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී තහනම් දැල් (සුරුක්කු) 2 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා ඇස් ආවරණ 3 ක්, පාවරල් යුගලක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 160 ක් පමණ ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රා සහ අනෙකුත් භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය‍ වෙත භාර දීමට කටයුතු කෙරිණි.