ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය 50 වන සංවත්සරය සමරයි
 

කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය අද (සැප්තැම්බර් 08) සිය 50 වන සංවත්සරය සමරනු ලැබූ අතර, ඒ වෙනුවෙන් නාවික සම්ප්‍රදායානුකූල වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබිණි.

ඒ අනුව රංගල ආයතනයේ වත්මන් අණදෙන නිලධාරී, කපිතාන් සේනක සෙනවිරත්න මහතාගේ අංශ පිරික්සීම සහ එතුමා විසින් නැව් මුළුව ඇමතීම පළමුව සිදු කරන ලදී. ඉන් අනතුරුව බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා ප්‍රමුඛ නිලධාරීන් සහ නාවිකයන් විසින් නාවික සම්ප්‍රදායානුකූල භෝජන සංග්‍රහය (බරාකානා) භුක්ති විදීමට එක් විය. මෙම සැමරුමට සමගාමීව අද සන්ධ්‍යාවේ වර්ණවත් සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට ද කටයුතු සූදානම් කර තිබේ.

ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය නාවික හමුදාවේ පැරණිතම ආයතනයන් අතරින් එකක් ලෙස හැඳින්විය හැක. එය 1967 සැප්තැම්බර් මස 08 වන දින ලුතිනන් කොමාණ්ඩර් එච්පී පවුලිස් නිලධාරියාගේ අණදීමෙන් ආරම්භ කොට තිබේ. මෙම ආයතනය මේ වන විට අණදෙන නිලධාරීන් 67 දෙනෙකුගෙන් පරිපාලනය වී ඇත. මෙමගින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් වන ‍කොළඹ වරාය ආරක්ෂා කිරීමෙහිලා ඉතා වැදගත් කාර්යය භාර්යක් ඉටු කරනු ලබයි. රංගල ආයතනය පළමුව ශාන්ත අන්තෝනි දොරටුව (අංක 4 වරාය පිවිසුම) අසල ස්ථාපිත කොට තිබූ නමුත් පසු කාලීනව එය වර්තමානයේ පවතින වරාය පරිශ්‍රය තුළ ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇත.

පසුගිය කාල සීමාව තුළ අප රට මුහුණ දුන් හදිසි ගංවතුර තත්ත්වයන්, නාය යෑම් වැනි ව්‍යසන අවස්ථාවන් හිදී සහන සැලසීමේ කටයුතු, මුදා ගැනීමේ රාජකාරීන් මෙන්ම ව්‍යසනයට ලක් වූ ප්‍රදේශ නැවත යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු වලදී ද මෙම ආයතනය මූලිකත්වය ගෙන කටයුතු කර ඇත.