නාවික හමුදා මැරීන් බලඝණයේ පුහුණුව ලැබූ නාවික පුද්ගලයන් 152 දෙනෙකු විසිර යති
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලඝණයට අනුයුක්තව පුහුණුව ලැබූ නිලධාරීන් 8 දෙනෙකු සහ නාවිකයන් 144 දෙනෙකු සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කරමින් අද (සැප්තැම්බර් 09) ත්‍රිකුණාමලය, සාම්පුර් හි පිහිටි මැරීන් බලඇණි මූලස්ථානයේදී විසිර ගියහ.

මෙම විසිර යාමේ සහ ලාංඡන පැළදවීමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික ප්‍රදේශය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා සහභාගී විය. ඉතා උත්කර්ශවත් ලෙස පැවැත් වූ මෙම විසිරයාමේ පෙළපාලිය මැරීන් බලඝණයේ හැකියාවන් සහ දක්ෂතාවයන් විදහා දැක්වෙන අලංකාර සංදර්ශණයකින් ද සමන්විත විය. තවද, සුවිශේෂී හැකියාවන්ගෙන් සහ දක්ෂතාවයන්ගෙන් පිරිපුන් ඉතා ශක්තිමත් කණ්ඩායමක් වශයෙන් මෙම මැරීන් බලකාය හැඳින්විය හැක. භූ ජල තරණ ක්‍රියාන්විතයන් සඳහා විශේෂ පුහුණුවක් ලබා ‍ඇති මෙම නාවික පුද්ගලයන් දූපත් රාජ්‍යක් වන අප රටේ ඕනෑම වෙරළ තීරයකට ගොඩබැස සාගරයෙන් පැමිණෙන ඕනෑම සතුරු උවදුරකට විශ්මිත අයුරින් මුහුණ දීමේ නිපුණත්වයකින් යුක්ත වේ.

මෙම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය වශයෙන් කටයුතු කරනු ලබන, රියර් අද්මිරාල් කපිල සමරවීර, අධ්‍යක්ෂ නාවික ගොඩබිම් මෙහෙයුම් කොමදෝරු උදේනි සේරසිංහ මහතා, ශ්‍රීලංනානෞ විදුර ආයතනයේ ආඥාපති කපිතාන් (නාසෙ) සුමිත්‍ර ෆොන්සේකා මහතා සහ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.