ත්‍රිත්ව විද්‍යාලය නාවික හමුදාධිපතිතුමන් හට බුහුමන් දක්වයි
 

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ දිප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හට ඊයේ (සැප්තැමිබර් 09) දින ත්‍රිත්ව විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදි පැවති සිංහ රාත්‍රිය සම්මාන උළලේදි ‘ත්‍රිත්ව සම්මානය’ පිරිනමමින් බුහුමන් දැක්විය.

125 වන සංවත්සරය සමරන ත්‍රිත්ව විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ලද මෙම උත්සවයේදි විවිධ ‍ක්ෂේත්‍රයන් හි විශිෂ්ඨ සේවයක් ඉටු කළ තවත් දිප්තිමත් ත්‍රිත්ව විද්‍යාල ආදි සිසුන් 14 දෙනෙකුටද සම්මාන පිරිනමන ලදී.

ත්‍යාග ප්‍ර‍ධානෝත්සවයට සපැමිණි ත්‍යාගලාභීන් විද්‍යාලීය බෙර වාදන හා නෘත්‍ය වෘන්දය පෙරටු කරගත් විචිත්‍රවත් පෙරහැරකින් උත්සව ශාලාව වෙත කැඳවාගෙන යන ලද අතර, සාම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්විමෙන් අනතුරුව උත්සව සභාවේ වැඩකටයුතු ආරම්භ කෙරිණි. වියෝ වු ත්‍රිත්ව විද්‍යාල අදි සිසුන් සිහි කරනු වස් මිනිත්තුවක නිශ්ශබ්දතාවයකින් අනතුරුව විද්‍යාලීය ගීය ගායනා කෙ‍රිණි. විද්‍යාලීය පියතුමා විසින් සිදු කරන ලද යාඥාවෙන් අනතුරුව ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිතුමන් සහ විදුහල්පතිතුමන් උත්සව සභාව අමතන ලදී. විද්‍යාලීය ශිෂ්‍යභට වාද්‍ය වෘන්දය උත්සවය වර්ණවත් කරනු වස් වාද්‍ය ප්‍රසංගයක් ඉදිරිපත් කරන ලද අතර, පැමිණි සිටි සියලු දෙනාගේ සිත් සතන් ප්‍රමෝදමත් කරමින් විද්‍යාලීය ගීතිකාවද ගායනා කෙරිණි. චිරාගත සම්ප්‍රදායට මුල්තැන දෙමින් සංවිධානය කර තිබු මෙම සම්භාවනීය උත්සවය උඩරට වාද්‍ය වෘන්දයකින් ඉදිරිපත් කරන ලද සිත් කළු ප්‍රසංගයකින් අනතුරුව නිමාවට පත්විය.

උත්සව සභාව අමතමින් නාවික හමුදාධිපති, මෙලෙස ත්‍යාගයක් ලබා‍ දෙනු වස් විද්‍යාලීය වේදිකාවට පියවර නැගුවේ වසර 37 කට පසුව බව පැවසු අතර, විශිෂ්ඨ වූ ත්‍රිත්ව සම්මානයෙන් පිදුම් ලැබිම පිලිබඳව තමා නිහතමානිව සතුටුවන බවද පැවසිය. තමා අතිශයින්ම අගයන හා ගෞරව දක්වන දිප්තිමත් ආදි ශිෂ්‍යයින් මෙන්ම විද්‍යාලයට නොමද කීර්තියක් ගෙන දුන් සහ මාතෘ භුමිය උදෙසා විශිෂ්ඨ සේවයක් ඉටු කළ සහෘදයන් සමඟ උරෙන්උර ගැටී එක්විමට ලැබිම තමා ලද මහත් ගෞරවයක් බව එතුමන් විසින් ප්‍රකාශ කරන ලදී. වසර 35 ක සේවය සමඟින් විජයග්‍රාහි නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා ලෙස සම්භවනීය අමුත්තන් හමුවේ නැගි සිටීමට හැකිවීම පිළිබඳව සිය සතුට පළ කර සිටියේය. නාවික හමුදාවේ සිය ගමන් මග දිර්ඝ මෙන්ම බාධක වලින් පිරී තිබු බව පැවසු නාවික හමුදාධිපතිතුමන් අනගිභවනීය ත්‍රිත්ව විද්‍යාලයෙන් ලද පරිචය සියලු සහෘදයන්ට දැඩි ශක්තියෙන් සහ අධිශ්ඨානයෙන් මුහුණ දිමට මහෝපකාරි වු බව පැවසිය. තමා හට පිරි නමන ලද බුහුමන් පිලිබඳව සිය හෘදයංගම කෘතවේදිත්වය අදි ශිෂ්‍ය සංගමයේ සභාපතිතුමා, විධායක කම්ටුව සහ සියළු ආදී ශිෂ්‍යයින් වෙත පිරිනමන ලදි.