250 වන ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය ජනතා අයිතියට
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම හදුන්වා දිය හැක. එහි විශේෂ අවස්ථාවක් සනිටුහන් කරමින් 250 වන ජල පිරිපහදු යන්ත්‍රය හොරොව්පතාන, රිටිගහවැව ශ්‍රී සද්ධර්ම ජෝතිකාරමයේදී අද (සැප්තැම්බර් 10) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ ආරාධනයෙන්, සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරිණි.‍

මෙම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්ණය, කෘෂිකර්ම අමාත්‍ය ගරු දුමින්ද දිසානායක මහතා, ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය ගරු පී හැරිසන් මහතා, අනුරාධපුර දිස්ත්‍රික් වකුගඩු රෝග නිවාරණ සමිබන්ධීකරන නිලධාරී තිස්ස කරලියද්ද මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.

එමගින් ප්‍රදේශයේ පවුල් 350 කට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකි වනු ඇත. තවද, එම ප්‍රදේශයේ වකුගඩු රෝගයට ගොදුරු වූ පුද්ගලයින් 600 දෙනෙකු සඳහා කුඩා ප්‍රමාණයේ ජල පිරිපහදු යන්ත්‍ර 600 ක් ප්‍රදානය කිරීම ද අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය. නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිදු කරගෙන යනු ලබන මෙම මහඟු කර්තව්‍ය අගය කරනු වස් අතිගරු ජනාධිපතිතුමන් විසින් කපිතාන් (ඉංජිනේරු) ප්‍රියංකර දිසානායක මහතා වෙත විශේෂ තිළිණයක් ද එහිදී පිරිනමන ලදී.

මෙයට සමගාමීව අතිගරු ජනාධිපතිතුමන් විසින් තවත් ජල පිරිපහදු යන්ත්‍ර 10 ක් අන්තර්ජාලය ඔස්සේ විවෘත කිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව රිදීමාලියද්ද ගැමුණුපුර ගම්මානය, වෙලම්පෙල ගම්මානය, කෙසෙල්පොත, සෙනවිගම, කෙසෙල්පොත උතුර අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, ඔයාමඩුව විහාරය, ගලෙන්බිදුනුවැව ශ්‍රී ගංගාරාම විහාරස්ථානය, අනුරාධපුර ඩීඑස් සේනානායක ප්‍රාථමික විද්‍යාලය සහ වව්නියාව යුද හමුදා විශේෂ බලකා මූලස්ථානය යන ස්ථානයන්හි ස්ථාපනය කරන ලද එම ජල පිරිපහදු යන්ත්‍ර එලෙස ජනතා අයිතියට පත් ‍කෙරිණි.

මෙම ජල පිරිපහදු යන්ත්‍රය ස්ථාපිත කිරීම සඳහා මූල්‍යමය දායකත්වය නාවික හමුදාව, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය සහ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ලබා දී ඇත. එමෙන්ම, මේ දක්වා ස්ථාපනය කරන ලද ජල පිරිපහදු යන්ත්‍ර මගින් පවුල් 121,544 කට සහ පාසැල් දරු දැරියන් 87,190 කට අධික පිරිසකට සහ යුද හමුදාවේ 975 දෙනෙකුට පිරිසිදු පානීය ජලය ලබා දීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

මාරාන්තික වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයේ කොටස් කරුවෙකු වන නාවික හමුදාව, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය හා එක්ව දිවයිනේ වකුගඩු රෝගය බහුලව ව්‍යාප්තව පවතින දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙවැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කොට ඇත. තවද, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.