නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

දිවයිනේ ප්‍රදේශ කිහිපයක නීති විරෝධී ක්‍රියාවන් වල නිරත වූ පුද්ගලයන් 51 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය. ඒ අනුව, නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 41 දෙනෙකු, සුදු මෝරුන් ඇල්ලූ පුද්ගලයන් 7 දෙනෙකු, කැස්බෑ මස් ලඟ තබා ගත් පුද්ගලයින් 2 දෙදෙනෙකු සහ මත් පෙති ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

පසුගිය සැප්තැම්බර් 05 සහ 06 යන දෙදින නැගෙනහිර නාවික විධනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ත්‍රිකුණාමලය නෝර්වේ දූපතට දකුණු දෙසින් සහ ලංකාපටුන ප්‍රදේශයට ඔබ්බෙන් තහනනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලින් 32 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, ඔවුන්ට අයත් ඩිංගි යාත්‍රා 6 ක්, තහනම් දැල් (සුරුක්කු දැල්) 6 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා පා වරල් යුගල් 2 ක්, මුහුණු ආවරණ 2 ක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 78 ක්ද අත්අඩංගුවට පත් වී ඇති අතර, එම පුද්ගලයන් සහ ධීවර ආම්පන්න ඉදිරි කටයුතු සඳහා මූතූර් ධීවර පරීක්ෂක කාර්යාලය සහ ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය 07 වන දින නච්චිකුඩා මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 9 දෙනෙකු සහ ඔවුන්ට අයත් වල්ලම් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී මීටර් 80 ක පමණ දිගකින් යුත් තහනම් දැලක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 55 ක්ද අත්අඩංගුවට ‍ගැණිනි. එම පුද්ගලයන් සහ ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා වෙඩිතලතිව් ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, නාවික හමුදාවට ලද තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ වන ජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී පසුගිය සැප්තැම්බර් මස 05 වන දින අරිප්පු වෙරළ තීරයේදී කැස්බෑ මස් කිලෝග්‍රෑම් 60 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. මෙම මස් තොගය ඩිංගි යාත්‍රාවක් මගින් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබියදී මෙසේ අත්අඩංගුවට පත් වී ඇති අතර, එම පුද්ගලයන් සහ කැස්බෑ මස් ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා වන ජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, දික්ඕවිට වෙරළාරක්ෂක මධ්‍යස්ථානය වෙත ලද තොරතුරකට අනුව, ක්‍රියාත්මක වූ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයන් පිරිසක් පසුගිය සැප්තැම්බර් මස 08 වන දින සුදු මෝරුන් කිලෝග්‍රෑම් 1013 ක් සමග පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. නීති විරෝධී ලෙස දඩයම් කර ට්‍රෝලර් යාත්‍රාවක් මගින් රැගෙන යමින් සිටියදී, දික්ඕවිට මුහුදු ප්‍රදේශයේදී ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයන් අල්ලන ලද මෝර මස් තොගය සහ ට්‍රෝලර් යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා දික්ඕවිට ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ යාපනය ආහාර සහ ඖෂධ පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්ව යාපනය නගරය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී, නීති විරෝධී ලෙස ප්‍රීගැබලින් පෙති විකිනීමට කටයුතු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, ඔහු සතුව තිබී එම වර්ගයේ පෙති 1428 ක් අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයා සහ පෙති තොගය ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා යාපනය ආහාර හා ඖෂධ පරීක්ෂක නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කරන ලදී.