නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක නීති විරෝධී ක්‍රියාවන් වල නිරත වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් විසි දෙදෙනෙකු (22) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය. ඒ අනුව, නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 16 දෙනෙකු, කේරළ ගංජා ලඟ තබා ගත් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් 3 දෙනෙකු, හෙරොයින් ලඟ තබා ගත් පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

පසුගිය සැප්තැම්බර් 14 සහ 15 යන දෙදින නැගෙනහිර නාවික විධනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ලංකාපටුන, සල්පයාරු හා කොක්කාඩි යන ප්‍රදේශයන්ට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයන්හි තහනනම් දැල් සහ පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, ඔවුන්ට අයත් ඩිංගි යාත්‍රාවක්, තහනම් දැල් (සුරුක්කු දැල්) 2 ක්, වෝටර් ජෙල් කූරු 33 ක්, විද්‍යුත් නොවන ඩෙටනේටරයක් සමඟ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 324 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන්, ධීවර ආම්පන්න ඇතුළු පුපුරණ ද්‍රව්‍ය ඉදිරි කටයුතු සඳහා මූතූර් ධීවර පරීක්ෂක කාර්යාලය, ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය සහ කුච්චවේලි පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

උතුරු මැද හා වයඹ නාවික විධානයන්ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය සැප්තැම්බර් 13 සහ 16 ‍යන දිනයන් හිදී මන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි සහ පාලකුඩා කළපුව යන ප්‍රදේශයන්හිදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සතුව තිබූ ඩිංගි යාත්‍රා 3 ක් හා තහනම් දැල් 7 ක්ද නාවික හමුදා භාරයට පත් වූ අතර, එම පුද්ගලයන් ඇතුළු ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම සහ පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාල වෙත භාර දීමට කටයුතු කරන ලදී.

නාවික හමුදාවට ලද තොරතුරු අනුව, දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක්, කතරගම හා දෙනියාය පොලිස් විශේෂ කාර්යය බලකායට අයත් නිලධාරීන් පිරිසක් එක්ව තනමල්විල සහ වැලිගම යන ප්‍රදේශයන්හි සිදු කරන ලද සෝදිසි කිරීම් වලදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 3 ග්‍රෑම් 340 ක් සමඟ පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයන්, කේරළ ගංජා සහ ඒවා ප්‍රවාහනය කිරීමට යොදා ගත් ත්‍රීරෝද රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා තනමල්විල හා වැලිගම යන පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ වත්තල පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව පසුගිය සැප්තැම්බර් 12 වන දින වත්තල ප්‍රදේශයේදී සිදු කළ සෝදිසි කිරීමක දී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 2.2 ක් සමග තරුණියක් (අවුරුදු 22) අත්අඩංගුවට ගන්නා ලදී. ලද තොරතුරු ඔස්සේ සැකකර තරුණියගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත. එම කේරළ ගංජා තොගය සහ සැකකාරිය ඉදිරි නීතිමය කටයුතු සඳහා වත්තල පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදාවට ලද තොරතුරු අනුව ක්‍රියාත්මක වූ බටහිර හා උතුරු යන නාවික විධානයන්ට අනුයුක්ත නාවිකයන්, බම්බලපිටිය සහ යාපනය පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් සිදු කළ වැටලීම් වලදී ග්‍රෑන්පාස්, ඔරුගොඩවත්ත හන්දිය හා යාපනය නගරය තුළ හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 650 ක්, වේදනා නාශක ඖෂධ පෙති (Tramadol) 1000 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයන්, නීති විරෝධී මත් ද්‍රව්‍ය, ඒවා ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගත් ත්‍රීරෝද රථය හා රුපියල් 5180.00 ක මුදල ඉදිරි නීතිමය කටයුතු සඳහා දෙමටගොඩ සහ යාපනය යන පොලිස් ස්ථානයන් වෙත භාර දීමට කටයුතු කරන ලදී.