නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයන් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

දිවයිනේ ප්‍රදේශ කිහිපයක නීති විරෝධී ක්‍රියාවන් වල නිරත වූ පුද්ගලයන් 09 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය. ඒ අනුව, නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 05 දෙනෙකු, කැස්බෑවෙකු ලඟ තබා ගත් පුද්ගලයෙකු, මුව මස් ලඟ තබා ගත් පුද්ගලයෙකු, නිතී විරෝධි දුම්වැටි ලඟ තබාගත් පුද්ගලයෙකු සහ මත් පෙති ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.

උතුරු මැද හා වයඹ නාවික විධානයන්ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය සැප්තැම්බර් 21 වන දින නච්චිකුඩා සහ මට්ටතිවු කළපුව ආශ්‍රීත මුහුදු ප්‍රදේශයන්හිදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සතුව තිබූ ඩිංගි යාත්‍රාවක්, වල්ලම් යාත්‍රාවක් හා තහනම් දැල් 2 ක්ද නාවික හමුදා භාරයට පත් වූ අතර, එම පුද්ගලයන් ඇතුළු ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා වෙඩිතලතිව් සහ පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

නාවික හමුදාව වෙත ලද බුද්ධි තොරතුරක් මත වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් සහ පුත්තලම, පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව පසුගිය සැප්තැම්බර් 19 වන දින පුත්තලම, තබ්බෝව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මුව මස් කිලෝග්‍රෑම් 30 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එම පුද්ගලයා සහ මස් ‍තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

පසුගිය සැප්තැම්බර් 20 වන දින නාවික හමුදාව වෙත ලද බුද්ධි තොරතුරක් මත බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ තුන්මුල්ල, පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව රත්මලාන ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී නීති විරෝධී විදේශිය දුම්වැටි පැකට් 200 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එම පුද්ගලයා සහ නීති විරෝධී දුම්වැටි තොගය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා ගල්කිස්ස පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

නාවික හමුදාව වෙත ලද තොරතුරක් මත උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය සැප්තැම්බර් 20 වන දින වංකාලේ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කැස්බෑවෙකු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කැස්බෑවා ඉදිරි නීතිමය කටයුතු සඳහා වංකාලේ පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

 නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ යාපනය, ආහාර සහ ඖෂධ පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්ව පසුගිය සැප්තැම්බර් 20 වන දින යාපනය නගරය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී, නීති විරෝධී ලෙස ප්‍රීගැබලින් පෙති අලෙවි කිරීමට කටයුතු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, ඔහු සතුව තිබී එම වර්ගයේ පෙති 165 ක් අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයා සහ පෙති තොගය ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා යාපනය, ආහාර හා ඖෂධ පරීක්ෂක නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කරන ලදී.