ගාලු කථිකාව 2017 මාධ්‍ය සාකච්ජාව නාවික හමුදා මුලස්ථානයේදී
 

2017 ඔක්තෝබර් මස 09 සහ 10 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත ගාලු කථිකාව - 2017 ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සාකච්ජාව අද (සැප්තැම්බර් 25) නාවික හමුදා මුලස්ථානයේදී පැවැත්විණි. නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම මාධ්‍ය සාකච්ජාව සඳහා විවිධ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදින් රැසක් සහභාගි වී සිටියහ.

මාධ්‍යවේදින් අමතමින් අදහස් දැක්වූ නාවික හමුදාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ ගාලු කථිකාව ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණයේ ප්‍රධානතම අරමුණ වන්නේ දෙස් විදෙස් පිළිගැනිමට ලක්වූ පාර්ශ්වකරුවන් හට ‍සාගරික ආරක්ෂාව පිළිබඳ සාකච්ජා කළ හැකි පොදු වේදිකාවක් නිර්මාණය කළ හැකි බවය. අටවන වරටත් සංවිධානය කරනු ලබන මෙවර සම්මන්ත්‍රණය සඳහා රටවල් 38 ක නියෝජිතයින් සහභාගිවීමටනියමිතය. 2010 වසරේ ආරම්භවී 2017 වසර වන විට මෙහි පාර්ශවකරුවන් සංඛ්‍යාව 100 සිට 200 දක්වා වැඩිවීම තුළින් ඉන්දියානු සාගර කළාපයේ ක්‍රියාකාරකම් කෙරෙහි කළාපීය සහ කළාපීය නොවන පර්ශවකරුවන් දක්වනු ලබන උනන්දුව මැනවින් පිළිඹිබු කරයි. ඒ අනුව මෙවර සමුළුව සඳහා නාවික හමුදා ප්‍රධානීන්, විදේශ නාවික හා වෙරළරක්ෂක බලකා උසස් නිලධාරින්, ජාත්‍යන්තර සංවිධානවල උසස් නිලධාරින්, තනාපතිවරු සහ ආරක්ෂක උ‍පදේශකයින් රැසක් සහභාගිවීමට නියමිතය. තවද, ප්‍රථම වරට ලොව ප්‍රධාන‍ පෙලේ ආරක්ෂක මෙවලම් නිෂ්පාදකයින් හටද මෙවර සම්මන්ත්‍රණය සඳහා ආරාධනා කර ඇති බව නාවික හමුදාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මෙවර සම්මන්ත්‍රණය ගාලු කථිකාව 2017 ශක්තිමත් සාගරික දෘශ්‍යතාවයක් තුළින් ශක්තිමත් සාගරික ආරක්ෂාවක්(Greater Martime Visibilty for Enhanced Maritime Security) යන තේමාව යටතේ සංවිධානය කොට ඇති අතර, මෙයට සහභාගිවන්නන්ට ඵලදායී සාකච්ජාවක් තුළින් ශක්තිමත් සාගරික සහයෝගීතාවයක් ඇති කර ගැනීම බලාපොරොත්තු වේ. එමෙන්ම වර්ථමාන සාගරික අභියෝගයන් සඳහා පිළියම් සෙවීම ප්‍රායෝගික ප්‍රවේශයක් වශයෙන්ද මෙය සදහන් කළ හැකිය.