වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකායේ මූලිකත්වය මත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 15 ක් ජනතා අයිතියට
 

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය, ශ්‍රී ලංකා නාවික හමුදාව, යුද හමුදාව සහ ශ්‍රී ලංකා රේගුව එක්ව ලබා දෙන ලද මූල්‍යමය දායකත්වය මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් ස්ථාපනය කරන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 15 ක් පසුගිය දින කිහිපය තුළදී ජනතා අයිතියට පත් කෙරිණි.‍ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් මෙම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම හදුන්වා දිය හැක.

රිදීමාලියද්ද ප්‍රදේශයේ සෙනවිගම, දික්යාය, කුඩාළුණුක, කෙසෙල්පොත උතුර, නාගදීප 6 බී, මෝරාන යන ගම්මානයන්හි ස්ථාපනය කරන ලද ජල පිරිපහදු යන්ත්‍ර මඟින් පිළිවෙලින් පවුල් 220 කට, 180 කට, 170 කට, 210 කට, 240 කට හා 210 කට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකියාව උදා වී ඇත. ඔයාමඩුව විහාරස්ථානයේ ස්ථාපනය කරන ලද ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම විහාරස්ථ භික්ෂූන්වහන්සේලා ඇතුළු ප්‍රදේශවාසී පවුල් 288 කට සිට පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකි විය. එමෙන්ම, ගලෙන්බිදුනුවැව ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ ඉදි කරන ලද ජල පිරිපහදු යන්ත්‍රය මගින් භික්ෂූන්වහන්සේලා ඇතුළු ප්‍රදේශයේ පවුල් 205 කට පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකියාව ලැබිණි.

යුද හමුදාව වෙනුවෙන් පුල්මුඩේ 27 වන ගජබා රෙජිමේන්තුව, මුහුදුබඩපත්තුව නන්දිකඩාල් යුද හමුදා ආරක්ෂක ජනපදය වව්නියාව යුද හමු‍දා විශේෂ බළකා කඳවුර සහ මන්නාරම 54 වන යුද හමුදා සේනාංකය යන කඳවුරු වලදී තවත් ජල පිරිපහදු යන්ත්‍ර 4 ක් විවෘත කෙරිණි. එමගින්, පිළිවෙලින් යුද හමුදා සාමාජිකයින් 700 කට, 520 කට, 670 කට සහ 740 කට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකි වී ඇත. තවද, මැදවච්චිය, වල්පොල ගම්මානයේ ස්ථාපනය කරන ලද ජල පිරිපහදු යන්ත්‍රය මගින් පවුල් 130 කට හා අනුරාධපුර ඩීඑස් සේනානායක ප්‍රාථමික විද්‍යාලයේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම විද්‍යාලයේ සිසු දරු දැරියන් 2347 දෙනෙකු සඳහා ද පිරිසිදු පානීය ජලය ලබා දීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

එමෙන්ම, මේ දක්වා ස්ථාපනය කරන ලද ජල පිරිපහදු යන්ත්‍ර 275 මගින් පවුල් 123,109 කට සහ පාසැල් දරු දැරියන් 89,537 කට අධික පිරිසකට සහ යුද හමුදාවේ 3,605 දෙනෙකුට පිරිසිදු පානීය ජලය ලබා දීමට නාවික හමුදාව කටයුතු කර ඇත. මාරාන්තික වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයේ කොටස් කරුවෙකු වන නාවික හමුදාව, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට කටයුතු කරමින් සිටී.