මෙරට අත්අඩංගුවේ තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 5 ක් යළි ඉන්දියාවට භාර දේ
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වීම හේතුවෙන් නාවික හමුදා අත්අඩංගුවට පත් තවත් ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා 5 ක්, අළුත්වැඩියාවන් සිදු කිරීමෙන් අනතුරුව නැවත එරටට භාර දීම අද (ඔක්තෝබර් 03) සිදු කෙරිණි. ඒ අනුව, සැප්තැම්බර් 30 වන දින සිට අද (3) දක්වා, මෙරට අත්අඩංගුවේ තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවන් අතුරින් ට්‍රෝලර් යාත්‍රා 12 ක් ඉන්දියානු රජය වෙත භාර දී ඇත.

ශ්‍රී ලංකාවට උතුරු දෙසින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවට ආසන්නයේදී එම ට්‍රෝලර් යාත්‍රාවන් ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවන් වන ‘අමේයා’ සහ ‘අභීක්’ වෙත භාර දීම මෙලෙස සිදු විය. මෙම කාර්යය සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා‍ව සතු මුර සංචාරක නෞකාවන් වන ශ්‍රීලංනානෞ ප්‍රතාප සහ එඩිතර II යන නෞකා එක් විය.