සුහදත්වය වර්ධනය කිරීමේ ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රහණය නාවික හමුදාවට
 

සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දියානු පූනේ සිංහ සමාජ ක්‍රිකට් කණ්ඩායම අතර ඔක්තෝබර් 02 සහ 03 යන දෙදින පැවති අභියෝගතා කුසලාන 20 යි 20 ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රහණය අත්කර ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.

වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේදී පැවැත්වුණු මෙම තරඟාවලිය තරඟ තුනකින් සමන්විත විය. එහිදී, විශිෂ්ඨ දස්කම් දක්වමින් තරඟ වැදි නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම එම තරඟ තුනම ජයග්‍රහණය කිරීමට සමත් විය. ඒ අනුව, පළමු තරඟයේ ඉන්දියානු පිල ලබා ගත් ලකුණු 136 ක ඉලක්කය හබා ගිය නාවික හමුදා කණ්ඩායම පන්දුවාර 18 කදී සිය ජයග්‍රහණය තහවුරු කර ගන්නා ලදී.

ඉන් අනතුරුව පැවති තරඟයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නාවික හමුදා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ ලකුණු 217 ක් රැස් කළහ. පිළිතුරු ඉනිම ආරම්භ කළ ඉන්දියානු සිංහ සමාජ පිතිකරුවන් හට සිය පන්දු වාර 20 අවසානයේ කඩුළු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 127 ක් පමණි. දෙවන දින පැවති තරඟයේදී පළමුව පන්දුවට පහර දුන් ඉන්දියානු කණ්ඩායමට සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 5 ක් දැවී ලකුණු 121 ක් රැස් කළහ. පිළිතුරු ඉනිම ආරම්භ කළ නාවික හමුදා කණ්ඩායමට පන්දුවාර 18 ක් අවසානයේ කඩුළු 6 ක් පමණක් දැවී සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය. 2015 වර්ෂයේදී ‍මෙහි පළමු තරඟය පවත්වා ඇති අතර, මෙවර එම තරඟය පවත්වා ඇත්තේ දෙවන වරටය.