නාවික හමුදාධිපතිතුමන් ඕස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකට සහභාගී වේ
 

ඕස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද Sea Power 2017 - ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා සහභාගී විය. මෙම සැසිය ඔක්තෝබර් මස 03 වන දින සිට 05 වන දින දක්වා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදා ප්‍රධානී, වයිස් අද්මිරාල් ටීඩබ් බැරට් මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාධිපති ලෙස වයිස් අද්මිරාල් සින්නයියා මහතා මෙයට සහභාගී විය. එතුමන් සමඟ නාවික සහායක, කපිතාන් අනුර ධනපාල මහතා ද මෙම සමුළුවට එක් විය. රටවල් 21 ක සහභාගීත්වයෙන් පැවති මෙම සම්මන්ත්‍රණයේ තේමාව වූයේ ‘නාවික හමුදාව හා ජාතිය’ (Navy and the Nation) යන්නයි. වසර 2 කට වරක් පැවැත්වෙන මෙම සමුළුව මෙවර පැවැත්වෙන්නේ දස (‍10) වන වරටය.

මෙම සමුළුවට සමගාමීව, පැසිෆික් ජාත්‍යන්තර සාගරික ප්‍රදර්ශණය සහ ජාත්‍යන්තර සාගරික සමුළුව පැවැති අතර, ඒ සඳහා ද නාවික හමුදාධිපතිතුමන් සහභාගී විය.