නාවික හමුදාධිපතිතුමන් අනුරාධපුරයේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදා ගනී
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා සහ තිරුනි සින්නයියා මැතිනිය ඊයේ (ඔක්තෝබර් 07) අනුරාධපුරයේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන කිහිපයක් වැද පුදා ගන්නා ලදී. ඒ අනුව, ප්‍රථමයෙන්ම ඔවුන් මිරිසවැටිය විහාරස්ථානය වෙත ගොස් එහි නායක ස්වාමීන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.

ඉන් අනතුරුව ඔවුන්, අනුරාධපුර අටමස්ථානාධිපති, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදකින ලදී. එම අවස්ථාවේදී නාවික හමුදාධිපතිතුමන් විසින් උන්වහන්සේ වෙත අට පිරිකර පූජා කිරීම ද සිදු කෙරිණි. ඉන් පසු ඔවුහු ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටි උඩ මළුවට පැමිණ ශ්‍රී මහා බෝ සමිදුන් වැද පුදා ගත්හ. එහිදී සෙත් පිරිත් සජ්ඣායනයක් සිදු කොට නාවික හමුදාධිපතිතුමා ප්‍රධාන සමස්ථ නාවික හමුදාවට ආශිර්වාද පුද කෙරිණි.

මෙයින් අනතුරුව ඔවුහු අනුරාධපුර, සාරානන්ද පිරිවෙන වෙත පැමිණියහ. එහිදී, විහාරස්ථානයේ ස්වාමීන්වහන්සේලා 50 නමක් විසින් සෙත් පිරිත් සජ්ඣායනා කොට නාවික හමුදාධිපතිතුමන් හට ආශිර්වාද කළහ. ඉන් පසු නාවික හමුදාධිපතිතුමන් ඇතුළු පිරිස අනුරාධපුර, රුවන්වැලි සෑ චෛත්‍ය පිහිටි විහාරස්ථානය වෙත ගොස් එහි නායක ස්වාමීන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගන්නා ලදී. මෙම අවස්ථාවට උතුරු මැද නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.