තවත් විදේශීය රටවල් 5 ක නාවික හමුදා ප්‍රධානීන් සහ විදෙස් සංවිධාන නියෝජිතයින් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

කොළඹ ගාලු මුවදොර හෝට‍ලයේ පැවැත්වෙන 2017 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය සඳහා සහභාගී වී සිටින තවත් විදේශීය රටවල් 5 ක නාවික හමුදා ප්‍රධානීන් සහ විදෙස් සංවිධානය නියෝජිතයින් අද (ඔක්තෝබර් 10) සවස් භාගයේ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.

නෙදර්ලන්තය, නවසීලන්තය, රුසියාව, චීනය, කුවේට් සහ ගෝලීය සමුද්‍රික අපරාධ මැඩලීමේ වැඩසටහනේ ප්‍රධානී, මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සාමාජික මෙලෙස කොළඹ, ගාලු මුවදොර හෝටල් පරිශ්‍රයේදී නාවික හමුදාධිපතිතුමන් මුණ ගැසිණි. එහිදී, ඔවුන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත වී ඇත.

නෙදර්ලන්ත රාජකීය නාවික හමුදා නියෝජ්‍ය ආඥාපති, මේජර් ජෙනරාල් එෆ්වී වෑන් ස්ප්‍රෑන්ග් මහතා, නවසීලන්ත නාවික හමුදා නියෝජ්‍ය නාවික ප්‍රධානී, කොමදෝරු මැතිව් සී විලියම්ස් මහතා, රුසියානු නාවික හමුදාවේ නියෝජ්‍ය ප්‍රධානී, රියර් අද්මිරාල් ඒ ෂ්ටුකටුරෝව් මහතා, චීන නාවික හමුදාවේ නැගෙනහිර මුහුදු දියත් විධාන නියෝජ්‍ය ආඥාපති, රියර් අද්මිරාල් චුයි යූස්හොන්ග් මහතා, කුවේට් නාවික මෙහෙයුම් අධ්‍යක්ෂක, බ්‍රිගේඩීයර් වෙලීඩ් අල් ඔබයිඩි මහතා සහ ගෝලීය සමුද්‍රික අපරාධ මැඩලීමේ වැඩසටහනේ ප්‍රධානී, මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සාමාජික, ඇලන් කෝල් යන මහත්වරුන් මෙලෙස නාවික හමුදාධිපතිතුමන් සමග ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වූහ.

මෙවැනි අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයක් ඉතා උසස් අයුරින් සංවිධානය කර රටවල් වල නාවික හමුදාවන් අතර සුහදතාවය වර්ධනය කර ගැනීමට අවස්ථාවක් උදා කර දීම පිළිබඳව ඔවුන් නාවික හමුදාධිපතිතුමන් හට ස්තුතිය පුද කිරීමට ද පියවර ගෙන ඇත. මෙම අවස්ථාවන් සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

නාවික හමුදාධිපතිතුමන් සහ නෙදර්ලන්ත රාජකීය නාවික හමුදා නියෝජ්‍ය ආඥාපතිතුමන්
 

 

නාවික හමුදාධිපතිතුමන් සහ නවසීලන්ත නාවික හමුදා නියෝජ්‍ය නාවික ප්‍රධානී

 

නාවික හමුදාධිපතිතුමන් සහ රුසියානු නාවික හමුදා නියෝජ්‍ය ප්‍රධානී

 

නාවික හමුදාධිපතිතුමන් සහ චීන නාවික හමුදාවේ නැගෙනහිර මුහුදු දියත් විධාන නියෝජ්‍ය ආඥාපතිතුමන්

 

නාවික හමුදාධිපතිතුමන් සහ කුවේට් නාවික මෙහෙයුම් අධ්‍යක්ෂකතුමන්

 

නාවික හමුදාධිපතිතුමන් සහ ගෝලීය සමුද්‍රික අපරාධ මැඩලීමේ වැඩසටහනේ ප්‍රධානී, මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සාමාජිකතුමන්