සමුද්‍රීය ආරක්ෂාව පුළුල් කිරීම සඳහා වූ වඩාත් පුළුල් සමුද්‍රීය දැක්මක් සමඟින් 2017 ගාලු කතිකාව සාර්ථකව නිමාවට පත්වෙයි
 

ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව අට වන වරටත් සංවිධානය කරනු ලැබූ 2017 ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද (ඔක්තෝබර් 10) කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය. “සමුද්‍රීය ආරක්ෂාව පුළුල් කිරීම සඳහා වූ වඩාත් පුළුල් සමුද්‍රීය දැක්මක්” යන තේමාව යටතේ පැවති මෙවර සමුළුව සඳහා රටවල් 51 ක සහ ජාත්‍යන්තර සංවිධාන 12 ක විදෙස් නියෝජිතයින් සහභාගී විය.

නාවික හමුදාව විසින් වැඩි ප්‍රමුඛත්වයක් ලබා දෙමින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගාලු කතිකාව අන්තර්ජාතික සම්මන්ත්‍රණය, කලාපීය සාගරික සහයෝගීතාවයන් හා අන්තර්ජාතික වශයෙන් බලපා ඇති සාගරික අභියෝගයන් සඳහා විසඳුම් සාකච්ජා කිරීම මූලික කරගනිමින් පවත්වනු ලබයි. ගෝලීය වශයෙන් සාගරික සම්බන්ධතා තව දුරටත් ශක්තිමත් කිරීමට වැදගත් වන කරුණු රාශියක් පිළිබඳ ඉතා වැදගත් අදහස් හුවමාරු කර ගැනීමට මෙවර සමුළුව මගින් හැකියාව ලැබිණි.

වයිස් අද්මිරාල් සුසිත් වීරසේකර මහතා (විශ්‍රාමික) සම්මන්ත්‍රණයේදී සමාලෝචන දේශනයක් පැවැත්වූ අතර, එහිදී දෙදින සමුළුවේ පැවති දේශනයන්හි කැපී පෙනුනු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් සමාලෝචනයක යෙදුණි. අට වන වරටත් පැවැත් වූ මෙම සම්මන්ත්‍රණය වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ මගපෙන්වීම යටතේ ඉතා උසස් අයුරින් පැවැත්වුණු අතර, රටවල් අතර නාවික හා සාගරික සම්බන්ධතා වර්ධනය කර ගැනීම සඳහා වැදගත් සන්ධිස්ථානයක් වූ බවත්, ආසියානු පැසිෆික් කලාපයන්හි ආර්ථිකය සීඝ්‍ර ලෙස සංවර්ධනය වෙමින් පවතින මෙවන් වකවානුවක සාම්ප්‍රදායික නොවන ආරක්ෂක තර්ජනයන්හි වැඩිවීමක් දක්නට ඇති බවද පෙන්වාදුන් අතර, ඒ අනුව ඉන්දු-පැසිෆික් සාගර කලාපයන් ආශ්‍රිතව උපාය මාර්ගික සාගරික ආරක්ෂාව කෙරෙහි සංකීර්ණ බවක් ගොඩනැගී ඇති බවද එතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා විසින් සමුළුවේ ස්තූති කතාව සිදු කරන ලදී. වාර්ෂිකව පවත්වනු ලබන මෙම කතිකාව තුළින් සමුද්‍රීය ආරක්ෂාව පුළුල් කිරීම සඳහා වඩාත් පුළුල් සමුද්‍රීය දැක්මක් සකස් කර ගැනීම සම්බන්ධයෙන් ගොඩනැගෙන පුළුල් සාකච්ජාවන් හා විශ්ලේශනයන් නව මාවතකට පිවිස ඇති බවද සඳහන් කරන ලදී.

තවද, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හිටපු ජනාධිපතිනි, අතිගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතාගේ සහභාගී වීම සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමන් විසින් සමුළුව අමතා සිදු කළ හරවත් දේශනය පිළිබඳව ඔවුන් වෙත සිය ගෞරවනීය ස්තූතිය ප්‍රකාශ කරන ලදී. එමෙන්ම මෙම සමුළුව පැවැත්වීම සඳහා අවස්ථාව ලබා දුන් ආරක්ෂක අමාත්‍යංශයටත්, එම අවස්ථාව සඳහා සහභාගී වූ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්හට ශ්‍රී ලංකාව, ආරක්ෂක අමාත්‍යංශය හා නාවික හමුදාව වෙනුවෙන් සිය හෘදයාංගම ස්තුතිය එහිදී පුද කරන සිටින ලදී.

එමෙන්ම, මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූ හා ඒ සඳහා දිරියක් වූ දෙස් විදෙස් නියෝජිතයින්, ආයතන හා සංවිධානයන් හි විද්වතුන් හට ද සිය ‍ගෞරවනීය ස්තූතිය පුද කිරීමට ද රියර් අද්මිරාල් රණසිංහ මහතා එය අවස්ථාවක් කර ගත්හ. රටවල් අතර සාගරික සම්බන්ධතා පවත්වාගෙන යාම කෙරෙහි ඔවුන් දක්වන ලද කැපවීම හා කැමැත්ත ඉදිරියේදී සුරක්ෂිත සාගරික ස්ථාවරත්වයක් සඳහා ඉහවල් වනු ඇති බව ද සඳහන් කළේය.

ඒ අනුව, පුරා දින 2 ක කාලයක් පැවති ගාලු කතිකාව 2017 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය 2018 ගාලු කතිකාව මගින් නැවත හමුවන බලාපොරොත්තුව පෙරදැරිව, ඉතා සාර්ථක අයුරින් මෙලෙස නිමාවට පත් විය.