සේවා වනිතාවෝ ත්‍රිකුණාමලයේදී මනෝ සමාජීය වැඩසටහනක් පවත්වයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි, තිරුනි සින්නයියා මැතිණියගේ සංකල්පයකට සහ එතුමියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ඔක්තෝබර් 12) ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පිහිටි අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරය්දී මනෝ සමාජීය දැනුවත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

එම නාවික විධානයේ නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් පැවැත්වූ එම වැඩසටහන සඳහා සහභාගී වූ සියළු දෙනා හට වටිනා සහතික පත්‍රයක් පිරිනැමීමට ද එහිදී කටයුතු කෙරිණි. මෙම වැඩසටහන නාවික හමුදා සේවා වනිතා ඒකකය, නැගෙනහිර නාවික විධානය සහ නාවික හමුදා මනෝ වෛද්‍ය උපදේශණ අංශය එක්ව සංවිධානය කරන ලදී.

එහි මනෝ විද්‍යාත්මක දේශණ සඳහා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළදරු රෝහලේ ළමා මානසික රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය රසික පෙරේරා මහතා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මනෝ වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී ආචාර්ය දනේස් කරුණානායක මහතා, වෛද්‍ය ඉන්දු සමරසේකර මහත්මිය, සුජානි දලුගම මහත්මිය සහ ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂඥ මනෝ වෛද්‍ය කොමාණ්ඩර් තුෂානි හේනේගම මහත්මිය ඇතුළු මනෝවිද්‍යා උපදේශන නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලදී.

එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා, සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, නාවික පුද්ගලයන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් රැසක් ද සහභාගී වී සිටියහ.