නීති විරෝධී ක්‍රියාවන්හි නිරත පුද්ගලයින් 14 දෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට
 

පසුගිය දිනයන්හිදී, නීති විරෝධී ක්‍රියාවන් වල නිරත පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. විවිධ ප්‍රදේශයන් වලදී අත්අඩංගුවට ගත් එම පුද්ගලයින් නීති විරෝධී ලෙස දැව ලඟ තබා ගැනීම, කෙරළ ගංජා ප්‍රවාහනය කිරීම සහ නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වීම යනාදී හේතූන් මත මෙලෙස අත්අඩංගුවට පත් වී ඇත.

ඒ අනුව, නාවික හමුදාව වෙත ලද බුද්ධි තොරතුරකට අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් පසුගිය ඔක්තෝබර් මස 11 වන දින නි‍ලාවේලි, කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී, නීති විරෝධී ලෙස කපා අසුරන ලද බුරුත ලී තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ලී කැබලි 23 කින් සමන්විත එම බුරුත ලී තොගය දික් අඩි 125 ක් විය. එම පුද්ගලයා සහ දැව තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.  

තවද, වාලච්චේන ධීවර වරායට අනුයුක්තව රාජකාරී නියුතු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයන් පිරිසක් විසින් පසුගිය ඔක්තෝබර් 12 වන දින සිදු කරන ලද සෝදිසි කිරීමක දී ඩිංගි යාත්‍රාවක තිබී අල්ලන ලද මිනිමුතු මෝරෙකු සමඟ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. මෙම මෝරුන් විශේෂය ධීවර හා ජලජ සම්පත් පනත යටතේ ඇල්ලීමට තහනම් දුර්ලභ විශේෂයක් බවට නම් කොට ඇත. කිලෝග්‍රෑම් 170 ක් පමණ බරකින් යුක්ත එම මෝරා සහ පුද්ගලයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කොට ඇත.

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය ඔක්තෝබර් 11 සහ 12 යන දෙදින පාලකුඩා කළපු ප්‍රදේශයේ සහ කරෙයිතිව් මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන්ට අයත් ඩිංගි යාත්‍රා 5 ක්, තහනම් දැල් (තංගුස්) 6 ක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 13 ක් පමණ අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයතු කෙරිණි.         

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන් සහ මැදවච්චිය පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව පසුගිය ඔක්තෝබර් 13 වන දින සිදු කළ වැටලීමකදී රඹෑව, තල්ගහවැව ප්‍රදේශයේදී කේරළ ගංජා ග්‍රෑම් 350 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.  යතුරු පැදියක් පැදියක් මගින් මෙම කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිට ඇති අතර, එම පුද්ගලයා, ගංජා ප්‍රමාණය සහ යතුරු පැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා මැදවච්චිය පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.