වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ 22 වන නාවික හමුදාධිපති ධූරයට
 

අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව, අද දින (ඔක්තෝබර් 26) ශ්‍රී ලංකා නාවික හමුදාවේ 22 වන නාවික හමුදාපතිවරයා ලෙස පත් කර ඇත. ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ලේකම්, ගරු ඔස්ටින් ප්‍රනාන්දු මහතා අතින් අභිනව නාවික හමුදාපතිවරයා සිය පත්වීමේ ලිපිය ඊයේ (ඔක්තෝබර් 25) ලබා ගන්නා ලදී. ඒ අනුව, අද දින සිට එතුමා සිය නාවික හමුදාධිපති ධූරයේ රාජකාරී අරඹනු ඇත.

වයිස් අද්මිරාල් සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ මහතා අනුරාධපුර ශාන්ත ජෝසෆ් විද්‍යාලයේ සහ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වේ. 1982 වසරේදී ශ‍්‍රී ලංකා නාවික හමුදා 11 වන ශිෂ්‍යභට නිලධාරි බදවා ගැනිමට එක්ව ඇති වයිස් අද්මිරාල් රණසිංහ මහතා සිය මූලික නාවික පුහුණුව ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් සාර්ථකව හදාරා ඇත. එතුමා, 11 වන නිලධාරී බඳවා ගැනීමේ දක්ෂතම ශිෂ්‍යභට නිලධාරියාට හිමි ගෞරවනීය අසිපත හිමි කර ගනිමින් බ්‍රිතාන්‍ය ඩාර්ට්මත් හි රාජකීය නාවික විද්‍යාපීඨයෙන් (1984-1985) වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට වරම් ලැබීය.

නාවික නිලධාරියෙකු වශයෙන් සිය මව්බිම වෙනුවෙන් ඉටු කළ අනගිභවනීය මෙහෙවර වෙනුවෙන් වීර වික‍්‍රම විභූෂණ, රණවික‍්‍රම පදක්කම සහ උත්තම සේවා පදක්කම ඇතුළු පදක්කම් රාශියකින් සම්මානයන්ට පාත‍්‍ර වූ හෙතෙම, නාවික හමුදාධිපති ධූරයේ වැඩ භාර ගැනීමට ප්‍රථම නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයේ වසර 2 කට වැඩි කාලයක් රාජකාරී කළේය. ඊට පෙරාතුව විවිධ නෞකා, යාත්‍රා සහ ආයතනයන්හි අණදෙන නිලධාරී ලෙසත්, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති ලෙස රාජකාරී කොට ඇත. තවද, වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල්, දකුණු සහ බටහිර නාවික විධානයන්හි ආඥාපති ඇතුළු තනතුරු රාශියක් හොබවා ඇත.