05 වන ආසියානු ගෘහස්ථ සහ සටන් කලා තරඟාවලියේ රන් පදක්කම තුෂාරි අබේරත්න විසින් දිනා ගනී
 

05 වන ආසියානු ගෘහස්ථ සහ සටන් කලා තරඟාවලියේ මිටර් 800 ධාවන ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට නාවික හමුදාවේ සේවය කරන බල කාන්තා නැවි තුෂාරි අබේරත්න සමත් වී ඇත. එම සුවිශේෂි දක්ෂතාවය වෙනුවෙන් ඇය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ඇගයීමට ලක්වීම අද (නොවැම්බර් 01) නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරුණි. එහිදී, නාවික හමුදාධිපතිතුමන් ඇය හට සුභපැතුම් එක් කළ අතර, එම ජයග්‍රහණය අගයනු වස් ඇයට විශේෂ ත්‍යාගයක් පිරිනැමීමට ද නාවික හමුදාධිපතිතුමන් විසින් කටයුතු කරන ලදී. එම අවස්ථාව සඳහා නාවික හමුදා මළල ක්‍රීඩා සංගමයේ සභාපති, කපිතාන් චන්දන බෝපේගොඩ මහතා ද සහභාගී විය.

මෙම තරඟාවලිය පසුගිය සැප්තැම්බර් මස 17 වන දින සිට සැප්තැම්බර් මස 20 වන දින දක්වා රටවල් 65 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,500 කගේ සහභාගීත්වයෙන් තුර්කිමෙනිස්තානයේදී පවත්වන ලදි. එම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ බල කාන්තා නැවි තුෂාරි අබේරත්න විසින් රන් පදක්කම දිනා ගනිමින් ශ්‍රී ලංකාවට මෙන්ම නාවික හමුදාවට ද කීර්තියක් අත්කර දී ඇත