නායක නාවික සෙබළ ජේඒඩී නන්දන නාවිකයාගේ පවුලේ සාමාජිකයින් වෙත ‘නැවිරු සවියෙන්’ රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්
 

ශ්‍රී ලංකා නාවික හමුදා රාජකාරි‍යේ නිරතව සිටියදී හදිසි අනතුරකින් වියෝ වූ නායක නාවික සෙබළ ජේඒඩී නන්දන වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ප්‍රදානය කරන ලදී. එයට අදාළ ප්‍රේෂණපත් ප්‍රදානය කිරීම අද (නොවැම්බර් 03) කුරුණෑගල, පොල්පිතිගම පිහිටි ඔහුගේ නිවසේ දී සිදු කෙරුණි. නැවිරු සවිය ව්‍යවස්ථානුකූලව එම මුදලට අදාල ප්‍රේෂණපත් ඔහුගේ මව වන ජේඒ ඥාණවතී මහත්මිය වෙත සහ ඔහුගේ බිරිඳ වන ආර්එම්කේඑල් රාජපක්ෂ මහත්මිය වෙත භාරදීම සිදු කෙරිණි.

මෙම නාවිකයා 2003 වර්ෂයේ නොවැම්බර් මස 18 වන දින ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවට එක්වී ඇති අතර, විවිධ නාවික ආයතනයන්හි රාජකාරී සිදු කර ඇති ඔහු, මිය යන විට‍ පුත්තලම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයට අනුයුක්තව රාජකාරී සිදු කර ඇත. හදිසි අනතුරක් හේතුවෙන් ඔහු මිය යන විට 33 වන වියේ පසු විය.

රජයේ නොවන අරමුදලක් ලෙස නාවික පුද්ගලයින් ගේ රක්ෂණාවරණයක් ලෙසින් පවත්වාගෙන යනු ලබන නාවික හමුදා ˝නැවිරු සවිය˝ සුවසහන රක්ෂණ අරමුදල, නාවික හමුදාධිපතිතුමන්ගේ සෘජු අධීක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලබයි. අරමුදලේ සාමාජිකයෙකුගේ හෝ ඔවුන්ගේ ළඟම ඥාතීයෙකුගේ මරණයකදී, බරපතල රෝගාබාධයකදී, සදාකාලික හෝ අර්ධ දුබලතාවයකදී, සාමාන්‍ය රෝග තත්වයන් වලදී, ශල්‍යකර්මයක දී මෙන්ම වෛද්‍ය පරීක්ෂණයන් හිදී ද මෙමගින් ඔවුන් වෙත රක්ෂණ වන්දි ප්‍රදානය කිරීම සිදු‍වේ.