රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට
 

නාවික හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා පත් කොට ඇත. එතුමා මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් වීමට පෙර නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් රාජකාරී කරන ලදී.

රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලයේ දීප්තිමත් ආදී ශිෂ්‍යයෙකි. එතුමා 1982 වර්ෂයේදී 11 වන නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් වී ඇත. මූලික පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව ‍‍1985 වර්ෂයේ ඔක්තෝබර් මස 15 වන දින එතුමා උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ලදී. එතැන් සිට ක්‍රමාණුකූලව උසස් වීම් ලබමින් 2011 වර්ෂයේ ජූලි මස 01 වන දින ඔහු රියර් අද්මිරාල් නිලයට උසස් කරන ලදී.

ඔහුගේ සේවා කාලය තුළ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් වසර 3 ක් රාජකාරී කර ඇති අතර, දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, බටහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති සහ උතුරු මැද නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති යන පත්වීම් හොබවා ඇත. තවද එතුමා අධ්‍යක්ෂ නාවික මෙහෙයුම්, නාවික හමුදාධිපතිගේ නාවික සහායක, අධ්‍යක්ෂ නාවික විදේශ කටයුතු, මැරීන් බලකා අධ්‍යක්ෂක, අධ්‍යක්ෂ නාවික ව්‍යාපෘති හා සැළසුම්, අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් සහ නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් ද රාජකාරී සිදු කර ඇත.

රියර් අද්මිරාල් රොසයිරෝ මහතා ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලයෙන් යුද්ධෝපාය සහ ආරක්ෂක අධ්‍යන විද්‍යාවේදී උපාධිය හිමි කර ගෙන ඇත. එතුමා 1985 වර්ෂයේ සිට එල්ටීටීඊ ත්‍රස්තවාදය වැඩලීමේ මුහුදු සහ ගොඩබිම් මෙහෙයුම් සඳහා සිය සක්‍රීය දායකත්වය ලබා දෙන ලදී. ඔහුගේ එම මෙහෙයුම් හැකියාව සහ නිර්භීත භාවය අගයකරනු වස් ඔහු රණශූර පදක්කමෙන් ද පිදුම් ලබා ඇත.