රියර් අද්මිරාල් නීල් රොසයිරෝ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරේ වැඩ භාර ගනී
 

නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී වශයෙන් ඊයේ (නොවැම්බර් 08) පත් වූ රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා අද නාවික හමුදා මූලස්ථාන මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී නිල වශයෙන් සිය ධූර‍යේ රාජකාරී අරඹන ලදී. නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා විසින් අදාළ පත්වීමේ ලිපිය අද දින රියර් අද්මිරාල් රොසයිරෝ මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කරන ලදී.

එහිදී නාවික හමුදාධිපතිතුමන් විසින් නව තනතුරේ වැඩ භාර ගත් රියර් අද්මිරාල් රොසයිරෝ මහතා වෙත සුභපැතුම් එක් කරන ලදී. ඉන් අනතුරුව, මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී සිදු කළ ආගමික වතාවත් වලින් අනතුරුව පැවති චාම් උත්සවයකින් එතුමා නව තනතුරේ වැඩ කටයුතු ආරම්භ කළේය.

රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි. එතුමා 1982 වර්ෂයේ 11 වන නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා විධායක අංශයට එක් විය. සිය බඳවා ගැනීමේ මධ්‍ය නිලධාරී අවසාන විභාගයෙන් ප්‍රථම ස්ථානයට පත් වූ එතුමා, මූලික පුහුණුව සාර්ථක ලෙස අවසන් කර 1985 වසරේ ඔක්තෝබර් මස 15 වන දින උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ලදී. එතැන් සිට ක්‍රමාණුකූලව උසස් වීම් ලබමින් 2011 වර්ෂයේ ජූලි මස 01 වන දින ඔහු රියර් අද්මිරාල් නිලයට උසස් වී ඇත.

ඔහුගේ සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රා, ගොඩබැසීමේ යාත්‍රා (Landing Craft) වේග ප්‍රහාරක මුර යාත්‍රා, සහ ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවන්හි අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කොට ඇත. තවද, එතුමා විධාන මෙහෙයුම් නිලධාරී (නැගෙනහිර), ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී (මෙහෙයුම්), නියෝජ්‍ය අධ්‍යක්ෂ නාවික පුද්ගල හා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් වසර 3 ක් රාජකාරී සිදු කරන ලදී.

එමෙන්ම, දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, බටහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති සහ උතුරු මැද නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති යන පත්වීම් හොබවා ඇත. අධ්‍යක්ෂ නාවික මෙහෙයුම්, නාවික හමුදාධිපතිගේ නාවික සහායක, අධ්‍යක්ෂ නාවික විදේශ කටයුතු, මැරීන් බලකා අධ්‍යක්ෂක, අධ්‍යක්ෂ නාවික ව්‍යාපෘති හා සැළසුම්, අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති හා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් ද එතුමා රාජකාරී සිදු කර ඇත.

1991 වර්ෂයේ දී රියර් අද්මිරාල් රොසයිරෝ මහතා ඉන්දියාවේ නාවික හමුදා සංඥා පාසලෙන් තම දීර්ඝ පාඨමාලාව හදාරනු ලැබීය. තවද, 2001 වර්ෂයේ ඉන්දියානු ආරක්ෂක සේවා මාණ්ඩලික පාසලෙන් සිය මාණ්ඩලික පාඨමාලාව සමත් ඔහු. ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලයෙන් යුධෝපාය හා ආරක්ෂක අධ්‍යයන විද්‍යාවේදී උපාධිය ද ලබා ඇත. තවද, එතුමා පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ජාතික ආරක්ෂා පාඨමාලාව සාර්ථක ලෙස නිම කර ඇත.

1985 වර්ෂයේ සිට ත්‍රස්තවාදය වැඩලීම සඳහා මුහුදින් සහ ගොඩබිමින් සක්‍රීයව දායකත්වය ලබා දී ඇති අතර, ඔහුගේ එම නිර්භීත බව අගය කරනු වස් රණශූර පදක්කමෙන් ද එතුමා පිදුම් ලැබීය. එමෙන්ම, පූර්ණ භූමි පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ පදක්කම, උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම, රිවිරැස සංග්‍රාම සමූහ සේවා පදක්කම, 50 වන නිදහස් සැමරුම් පදක්කම, ශ්‍රී ලංකා නාවික හමුදා 50 වන සංවත්සර පදක්කම, උත්තම සේවා පදක්කම, විදේශ සේවා පදක්කම සහ උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම් ද හිමි කර ගෙන ඇත. තවද, එතුමාගේ මනා කැපවීම සහ මඟපෙන්වීම ඇගයීම සඳහා නාවික හමුදාධිපතිතුමන් විසින් අවස්ථා පහකදී ප්‍රශංසාත්මක ලිපි ප්‍රදානය කරන ලදී.

පාසල් යන අවධියේ සිට එතුමා දක්ෂ ක්‍රීඩකයෙකු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට ද වරම් ලබා ඇත. එමෙන්ම, ඔහු සිය බඳවා ගැනීමේ දක්ෂතම ක්‍රීඩකයා වශයෙන් පිදුම් ලැබීය. එතුමාගේ දයාබර බිරිඳ තමරා බස්නායක මැතිනිය වන අතර ඔවුන් හට දියණියන් දෙදෙනෙකු ද සිටී.