සටනේදී දිවි පුද කළ රණවිරුවන් අනුස්මරණය කෙරේ
 

මව් බිම වෙනුවෙන් සිය ජීවිත පුජා කළ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවය අද (11) කොළඹ, විහාර මහා දේවී උද්‍යානය අසල පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ද සහභාගී විය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක, ගරු කරූ ජයසූරිය මහතා, රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, එයාර් වයිස් මාෂල් ඩීඑල්එස් ඩයස් මහතා ද සහභාගී වී සිටියහ. එමෙන්ම, ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයන් විශාල පිරිසක් ද එම අවස්ථාව සඳහා එක් වී සිටියහ. තවද, ගරු කථානායක තුමන් විසින් විශ්‍රාමික නිලධාරීන් කිහිප දෙනෙකු හට ඔවුන්ගේ සේවය අගයනු වස් ගෞරවාන්විත සේවා පදක්කම පිරිනැමීම ද එහිදී සිදු කෙරිණි.

ප්‍රධාන උත්සවයට සමගාමීව කොළඹ, නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හා සේවා රියර් අද්මිරාල් ලලිත් ඒකනායක මහතාගේ මූලිකත්වයෙන් රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් පවත්වන ලදී. තවද, අනෙකුත් නාවික විධානයන්හිදී විධාන ආඥාපතිතුමන්ලාගේ හා අණදෙන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් රණවිරු අනුස්මරණ උත්සව මාලාවක් පැවැත්විණි. ඒ සඳහා නාවික හමුදාවේ සියළුම නෞකා, ආයතන හා අණුඛණ්ඩ නියෝජනය කරමින් නිලධාරීන් සහ නාවිකයින් විශාල පිරිසක් සහභාගී විය. විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් සුරකිමින් තම මාතෘ භූමියේ සෛවරීත්වය සහ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ තම සහෝදර රණවිරුවන් හට සිය කෘතවේදීත්වය පළ කිරීමෙන් අනතුරුව බියුගල් වාදනයෙන් හා දිවි පිදූවන් අනුස්මරණ පාඨය කියවීමෙන් එම අනුස්මරණ උත්සව මාලාව නිමාවට පත් කෙරිණි.

ඉතිරිව සිටිනා අප ලෙස වයසට නොම පැමිණෙති ඔහු ලොව කිසිදා
කාලය හමුවේ නොමියෙති දිරුමට නොම පිරිහෙති ඔහු වසර නිසා
හිරු බැස යද්දී හිරු පායද්දී අප සැම සිහිපත් කරමු ඔවුන්...!