චීන නාවික නෞකා කී ජි ගුආන්ග් හි නිලධාරීන් වෙනුවෙන් සංස්කෘතික ප්‍රසංගයක්
 

සුහද සංචාරයක් සඳහා ඊයේ (නොවැම්බර් 10) කොළඹ වරායට සේන්දු වූ මහජන චීන නාවික හමුදාවට අයත් කී ජි ගුආන්ග් නෞකාවේ නිලධාරීන් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංස්කෘතික ප්‍රසංගයක් සංවිධානය කර තිබිණි. එම සංස්කෘතික ප්‍රසංගය සහ රාත්‍රී භෝජන සංග්‍රහය ඊයේ කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේ නිලධාරී නිවස්නයේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදා සංස්කෘතික කණ්ඩායම විසින් පවත්වන ලද එම ප්‍රසංගය ඉතා වර්ණවත් අවස්ථාවක් විය. එහිදී චීන නාවික නිලධාරීන් විසින් ද විවිධ ගායන සහ වාදන අංගයන් ඉදිරිපත් කරමින් එම අවස්ථාව තවත් උද්යෝගිමත් කරන ලදී. ඉන් අනතුරුව ඔවුන් වෙනුවෙන් ප්‍රනීත රාත්‍රී භෝජන සංග්‍රයහක් ද සංවිධානය කොට තිබිණි.

එම අවස්ථාව සඳහා බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, චීන නාවික හමුදා කාර්යය අණදෙන නිලධාරී හා ඩාලියන් නාවික විද්‍යාපීඨ අධ්‍යක්ෂක, රියර් අද්මිරාල් යැන් සෙන්ග්මින් මහතා, කී ජි ගුආන්ග් නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් යේ කයින්හා මහතා, ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශක, ජ්‍යෙෂ්ඨ කර්නල් සූ ජියෑන්වෙයි මහතා ඇතුළු චීන නාවික නිලධාරීන් රැසක් ද සහභාගී වී සිටියහ.