සුළු නිලධාරී ඩබ්එම්එස් තිලකරත්න ජ්‍යෙෂ්ඨ නාවිකයාගේ පවුලේ සාමාජිකයින් වෙත ‘නැවිරු සවියෙන්’ රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්
 

ශ්‍රී ලංකා නාවික හමුදා රාජකාරි‍යේ නිරතව සිටියදී හදිසි අනතුරකින් වියෝ වූ සුළු නිලධාරී ඩබ්එම්එස් තිලකරත්න ජ්‍යෙෂ්ඨ නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ප්‍රදානය කරන ලදී. එයට අදාළ ප්‍රේෂණපත් ප්‍රදානය කිරීම අද (නොවැම්බර් 16) අම්පාර, උහන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී සිදු කෙරිණි. නැවිරු සවිය ව්‍යවස්ථානුකූලව එම මුදලට අදාල ප්‍රේෂණපත් ඔහුගේ මව වන ආර්කේබීඑම් හීන්මැණිකා මහත්මිය වෙත සහ ඔහුගේ බිරිඳ වන ඒඑම්ඩී අත්තනායක මහත්මිය වෙත භාරදීම සිදු සිදු විය.

මෙම ජ්‍යෙෂ්ඨ නාවිකයා 2001 වර්ෂයේ ජුනි මස 07 වන දින ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවට එක්වී ඇති අතර, විවිධ නාවික ආයතනයන්හි රාජකාරී සිදු කර ඇති ඔහු, මිය යන විට‍ පානම, ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට අනුයුක්තව රාජකාරී සිදු කර ඇත. හදිසි අනතුරක් හේතුවෙන් ඔහු මිය යන විට 35 වන වියේ පසු විය.

රජයේ නොවන අරමුදලක් ලෙස නාවික පුද්ගලයින් ගේ රක්ෂණාවරණයක් ලෙසින් පවත්වාගෙන යනු ලබන නාවික හමුදා ˝නැවිරු සවිය˝ සුවසහන රක්ෂණ අරමුදල, නාවික හමුදාධිපතිතුමන්ගේ සෘජු අධීක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලබයි. අරමුදලේ සාමාජිකයෙකුගේ හෝ ඔවුන්ගේ ළඟම ඥාතීයෙකුගේ මරණයකදී, බරපතල රෝගාබාධයකදී, සදාකාලික හෝ අර්ධ දුබලතාවයකදී, සාමාන්‍ය රෝග තත්වයන් වලදී, ශල්‍යකර්මයක දී මෙන්ම වෛද්‍ය පරීක්ෂණයන් හිදී මෙමගින් ඔවුන් වෙත රක්ෂණ වන්දි ප්‍රදානය කිරීම සිදු‍වේ.