කොමාණ්ඩර් තිලක් මලලගම විසින් රචිත “ක්‍රීඩා අනතුරු කළමණාකරන මාර්ගෝපදේශකය” කෘතිය එළිදැක්වේ
 

ශ්‍රී ලංකා නාවික හමුදා වෛද්‍ය අංශයේ පරිපාලන නිලධාරියෙකු වන කොමාණ්ඩර් තිලක් මලලගම මහතා විසින් රචිත “ක්‍රීඩා අනතුරු කළමණාකරන මාර්ගෝපදේශකය” (Guid to Injury Management in Sports) කෘතිය ඊයේ (නොවැම්බර් 22) දොරට වඩින ලදී.

කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී මෙම කෘතිය දොරට වැඩීමේ උත්සවය පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා සහභාගී විය. තවද, එම අවස්ථාව සඳහා විශේෂ ආරාධිතයෙකු වශයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය අර්ජුන ඩී සිල්වා මහතා ද එක් විය.

ක්‍රීඩා අනතුරු කළමණාකරනය යන විෂය ක්ෂේත්‍රය ආවරණය වන පරිදි රචනා කොට ඇති මෙම ග්‍රන්ථයේ ඉතා වටිනා කරුණු රාශියක් ඇතුළත් කොට ඇත. මෙම ග්‍රන්ථය කොමාණ්ඩර් මලලගම මහතාගේ කුළුදුල් කෘතිය වන අතර, එහි මංගල පිටපත රියර් අද්මිරාල් රොසයිරෝ මහතා වෙත පිරිනැමීම පළමුව සිදු කෙරිණි. ඉන් අනතුරුව එහි පිටපත් සෙසු සම්භාවනීය අමුත්තන් වෙත පිළිගැන්වීය.

මෙම අවස්ථාව ඇමතූ කැලණිය විශ්ව විද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨ මහාචාර්ය අර්ජුන ඩී සිල්වා මහතා මෙම ග්‍රන්ථය සම්බන්ධයෙන් විශේෂ දේශණයක් පවත්වන ලදී. එම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, කොමාණ්ඩර් මලලගම මහතාගේ පවුලේ සාමාජික සාමාජිකාවන් සහ නාවිකයන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.