ධීවරයින් දෙදෙනෙකුගේ සිරුරු නාවික හමුදාව විසින් ගොඩබිමට රැගෙන එයි
 

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත්ව අතුරුදන්ව සිටි ධීවරයින් දෙදෙනෙකුගේ මෘත දේහ ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ (දෙසැම්බර් 01) කටයුතු කරන ලදී.
ගාල්ල, දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයින් පසුගිය නොවැම්බර් මස 29 වන දින දොඩන්දූව සහ හික්කඩුව යන ධීවර වරායන්ගෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ‍ගොස් ඇති අතර, අනතුරට ලක්ව අතුරුදහන් වීමෙන් පසු සීනිගම මුහුදු ප්‍රදේශයේ ඔවුන්ගේ මෘත දේහ මුහුදේ පාවෙමින් තිබී ඇත. නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RS) අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ නාවික කිමිදුම් අංශයේ නාවිකයන් පිරිසක් විසින් එම පුද්ගලයින්ගේ සිරුරු ගොඩබිමට රැගෙන ඒමෙන් අනතුරුව බලපිටිය රෝහල වෙත භාර දීමට කටයුතු කෙරිණි.