නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 9 දෙනෙකු ඊයේ (දෙසැම්බර් 11) ප්‍රදේශ කිහිපයකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි විය. ඒ අනුව, ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පානම, ඔකඳ සහ පොතුවිල්, කෝමාරි යන ප්‍රදේශයන් හිදී නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී, ඩිංගි යාත්‍රාවක්, තහනම් දැල් 2 ක් සහ අල්ලන ලද පොකිරිස්සන් 21 ක් ද අත්අඩංගුවට පත් විය. මෙම කාලය පොකිරිස්සන් බිත්තර දමන සමය බැවින්, එම කාල සීමාව තුළ පොකිරිස්සන් ඇල්ලීම තහනම් කර ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයින්, පොකිරිස්සන් සහ අනෙකුත් ආම්පන්න පානම පොලිස් ස්ථානය සහ පානම වැඩබලන ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ආනවාසල මුහුදු ප්‍රදේශයේදී තහනම් කිමිදුම් ක්‍රම උපයෝගී කර ගනිමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, ඔවුන්ට අයත් ඩිංගි යාත්‍රාවක්, කිමිදීම සඳහා යොදා ගන්නා ඔක්සිජන් සිලින්ඩර් 12 ක්, පා වරල් යුගල් 2 ක්, මුහුණු ආවරණ 2 ක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 45 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයින් සහ ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් වලෙයිපාඩු මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, ඩිංගි යාත්‍රාවක් සහ මීටර් 85 ක පමණ දිගකින් යුත් තහනම් දැලක් අත්අඩංගුවට ‍පත් වූ අතර, එම පුද්ගලයින් සහ ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා පූනකරි ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.