අන්තර් නෞකා/යාත්‍රා, සංඥා, කඹ හා ගැට තරඟාවලිය 2017
 

නාවික දියත් විධානය විසින් සංවිධානය කරන ලද අන්තර් නෞකා/යාත්‍රා, සංඥා, කඹ හා ගැට තරඟාවලිය - 2017 පසුගිය දෙසැම්බර් 20 වන දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා සහභාගී විය.

ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා, ධජ නිලධාරීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, නෞකා හා ආයතනයන්හි අණදෙන නිලධාරීන් ඇතුළු නාවික පුද්ගලයින් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.

උතුර, නැගෙනහිර, දකුණු සහ බටහිර යන නාවික විධානයන් නියෝජනය කළ තරඟකරුවන් රැසක් එහි අවසන් තරඟ වටයේදී සිය දක්ෂතා දක්වන ලදී. මෙම තරඟාවලියේ අරමුණ වුයේ සංඥා, කඹ හා ගැට යන විෂයයන් පිළිබඳ හොඳම නෞකාව සහ යාත්‍රාව තෝරා ගැනීමයි. ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා උදාර නෞකාව නියෝජනය කළ කණ්ඩායම සහ යාත්‍රා අංශයෙන් සහභාගී වූ සහභාගී වූ පී 436 වේග ප්‍රහාරක යාත්‍රා කණ්ඩායම දක්ෂතම කඹ හා ගැට (Rigging) කණ්ඩායම් වශයෙන් තේරී පත් විය. තවද, ශ්‍රීලංනානෞ සයුර නෞකාව, පී 4444 හා පී 4446 යන වේග ප්‍රහාරක යාත්‍රා නියෝජනය කළ කණ්ඩායම් නෞකා සහ යාත්‍රා අංශය සඳහා වූ හොඳම සංඥා ඉදිරිපත් කිරීමට හිමි කුසලාන හිමි කර ගන්නා ලදී.

එමෙන්ම, ROR (Rule of the Road) අංශයෙන් යාත්‍රා අතර තරඟයෙන් පී 4446 යාත්‍රාව නියෝජනය කළ ලුතිනන් එස්එම්සීබී කුමාර යන නිලධාරියා සහ නෞකා අතර තරඟයෙන් ශ්‍රීලංනානෞ සයුරළ ‍නෞකාව නියෝජනය කළ ලුතිනන් කේආර් තලගල නිලධාරියා ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය.

තරඟාවලියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් අගය කරනු වස් ඔවුන් හට විශේෂ සම්මාන ප්‍රදානය කිරීමක් ද එහිදී සිදු කෙරිණි. ඒ අනුව ලුතිනන් කේආර් තලගල නිලධාරියා ROR අංශයේ දක්ෂතම නිලධාරියා වශයෙන් කුසලානය දිනා ගන්නා ලදී. කඹ හා ගැට අංශයේ දක්ෂතම නාවිකයා වශයෙන් බල නාවික එච්ඒආර්ඩී රත්නසිරි කුසලානය හිමි කර ගත් අතර, සෙමෆෝර් (Semaphore) සහ (Flashing) අංශයේ දක්ෂතම සංඥා නාවිකයා ලෙස නායක සංඥා ජේඒඅයිඩී ජයකොඩි කුසලානය හිමි කර ගැනිණි.