නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

දකුණු සහ උතුරු මැද නාවික විධානයන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (දෙසැම්බර් 29) තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව අහුංගල්ල මුහුදු ප්‍රදේශයේදී ට්‍රෝලර් යාත්‍රාවක් සමග පුද්ගලයින් 10 දෙනෙකු ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් විය. එහිදී, අඩි 706 ක දිගකින් හා අඩි 71 ක පළලින් යුත් තහනම් දැලක් සහ කිමිදීමේදී ගොදා ගන්නා විදුලි ලාම්පු 2 ක්ද අත්අඩංගුවට ගත් අතර, එම පුද්ගලයින් සහ ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ගාල්ල ධීවර පරීක්ෂක කාර්යාලය හරහා ගාල්ල පොලීසය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, නච්චිකුඩා මුහුදු ප්‍රදේශයේදී වල්ලම් යාත්‍රාවක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය. එහිදී, ඔවුන් සතුව තිබූ මීටර් 500 ක පමණ දිගකින් යුත් තහනම් දැලක් ද නාවික හමුදා භාර‍යට ගෙන ඇති අතර, එම පුද්ගලයින් සහ ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මුලන්කාවිල් පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.