ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව සිය 66 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
 

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව අද (ජනවාරි 09) දින වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේදී සිය 66 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරනු ලැබීය. සර්ව ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව ආරම්භ කෙරුණු මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්  ස්වේචඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරී කොමදෝරු (ස්වේ) ජයරත්න විජේකෝන් මහතා සහභාගී විය.

සාම්ප්‍රදායික මංගල භෝජන සංග්‍රහයක් සහ තවත් වැඩසටහන් කිහිපයක් එහිදී පැවැත්වුනු අතර, එම අවස්ථාවන් සඳහා ස්වේච්ඡා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.  

1939 වසරේ ඔක්තෝබර් මස 11 වන දින ලංකා ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානය කොච්චිකඩේදී ස්ථාපනය කරන ලදී. පළමුව කොළඹ හා ත්‍රිකුණාමල යන වරායන්ගේ ආරක්ෂාව සඳහා සහ මුහුදු බෝම්බ ඉවත් කිරීමේ රාජකාරීන් ඔවුන් හට පැවරුණි. පසුව එය 1943 වර්ෂයේ ඔක්තෝබර් මස බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ දකුණු දිග ආසියාතික නාවික අණදෙන බලකාය යටතට ගෙන 1946 වර්ෂයේදී නැවත ලංකා රාජකීය නාවික ස්වේච්ඡා උප සේවය වශයෙන් ශ්‍රී ලංකා රජයට භාර දෙන ලදී.

ඉන් අනතුරුව, 1950 අංක 34 දරණ නාවික පණත යටතේ 1952 වර්ෂයේ ජනවාරි මස 09 වන දින නිලධාරීන් 24 දෙනෙකුගෙන් සහ නාවිකයන් 121 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා රාජකීය ස්වේච්ඡා නාවික හමුදාව පිහිටුවනු ලැබීය. වර්තමානය වන විට නිලධාරීන් 462 දෙනෙකුගෙන් සහ නාවිකයින් 12,000 කින් සමන්විත පූර්ණ බල හමුදාවක් බවට ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව පත් වී ඇත.

ස්වේච්ඡා නාවික හමුදාවේ ප්‍රථම අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් ජීආර්එම් ද මෙල් මහතා නාවික ඉතිහාසයට එක් වී ඇති අතර, පසු කාලීනව එතුමා රියර් අද්මිරාල් තනතුරට උසස් වීම් ලැබ නාවික හමුදාධිපති ධූරය ද හොබවා ඇත. මේ වන විට අණදෙන නිලධාරීන් 21 දෙනෙකු යටතේ පාලනය වී ඇති ස්වේච්ඡා නාවික හමුදාවේ වත්මන් අණදෙන නිලධාරී වශයෙන් කථිකාචාර්යය වරයෙකු වන කොමදෝරු (ස්වේ) ජයරත්න විජේකෝන් මහතා සහ එහි වත්මන් ආඥාපති වශයෙන්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා කටයුතු කරනු ලබයි.