නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවටේ
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය පෙබරවාරි මස 17 වන දින ත්‍රිකුණාමලය, උප්පුරාල් ප්‍රදේශයේදී නීති විරෝධී ක්‍රම භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී, ඔවුන් සතුව තිබූ ඩිංගි යාත්‍රාවක්, ඔක්සිජන් සිලින්ඩර් 5 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා පා වරල් යුගල් 02 ක්, මුහුණු ආවරණ 3 ක්, වෝටර් ජෙල් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය සහිත කූරු 49 ක්, විද්‍යුත් නොවන ඩෙටනේටර් 09 ක් සහ වෙඩි නූල් අඩි 4.5 ක්ද අත්අඩංගුවට ගන්නා ලදී. එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 20) මඩකලපුව, කළපු තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී සඟවා තැබූ තහනම් දැල් 3 ක් සොයා ගැනීමට සමත් විය. අඩි 150 ක පමණ දිගකින් යුක්ත එම තහනම් දැල් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.