නාවික හමුදාව සාගරික පරිසර පද්ධති සුරැකීමට දායක වෙමින් කඩොලාන පැල ලක්ෂයක් රෝපණය කිරීමේ කඩයිම පසු කරයි
 

ශ්‍රී ලංකාවේ සාගරික සහ ගොඩබිම් පරිසර පද්ධතීන් සුරැකීම සදහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, කඩොලාන පරිසර පද්ධති ව්‍යාප්ත කිරීමේ වැඩසටහන යටතේ මේ වන විට ‍කඩොලාන පැල ලක්ෂයක් රෝපණය කිරීමේ කඩයිම පසු කිරීමට සමත් වී ඇත.

මෙම කර්තව්‍ය සඳහා නාවික හමුදා සාගරික හා පරිසර හිතකාමී ව්‍යාපෘති කමිටුව සහ සාගරික සංරක්‍ෂණ අධීක්‍ෂණ ඒකකය මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබයි. එමෙන්ම පරිසර සුරැකීමේ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමඟ ද සමීපව කටයුතු කරන නාවික හමුදාව මේ වන විට දිවයිනේ බොහෝ පරිසර සංරක්‍ෂණ ව්‍යාපෘතීන් රැසකට සිය දායකත්වය ලබා දී ඇත. පසුගිය වසර 2 ක පමණ කාලය තුළදී සුළු ධීවර සම්මෙලන සමග එක්ව නාවික හමුදාව විසින් සමස්ථ දිවයින ආවරණය වන පරිදි මෙම කඩොලාන පැල ලක්ෂයකට අධික ප්‍රමාණය රෝපණය කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව ගිණිකොන නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයන් විසින් පසුගිය පෙබරවාරි මස වන දින 21 පානම කළපුවේ කඩොලාන පැල 700 ක් වගා කිරීමත් සමඟම පැල ලක්ෂයේ කඩයිම පසු කරන ලදී. එම අවස්ථාව සඳහා ගිණිකොන නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු කලණ ජිනදාස මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

කඩොලාන පැල සිටුවීමට සමගාමීව කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කිරීමේ වැදගත්කම මෙන්ම එමඟින් පරිසරයට සහ මිනිසා ඇතුළු ජීවීන් හට ලැබෙන ප්‍රයෝජන පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පවත්වන ලදී. එම වැඩසටහනේ ප්‍රධාන දේශණය, කුඩා ධීවර සම්මේලනයේ කඩොලාන සංරක්ෂණ අධ්‍යක්ෂ, ඩග්ලස් තිසේරා මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතියට අමතරව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වෙරළ පිරිසිදු කිරීම, කැස්බෑ සංරක්ෂණය, ජීව වායු නිෂ්පාදනය කිරීම සහ කොරල්පර සංරක්ෂණ වැනි ව්‍යාපෘතීන් රැසක් ක්‍රියාත්මක කරගෙන යනු ලබයි. මෙම කර්තව්‍යයන්, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් හා නාවික හමුදා සාගරික හා පරිසර හිතකාමී ව්‍යාපෘති කමිටු ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සහ අධ්‍යක්‍ෂ නාවික ආවේක්‍ෂණ, කොමදෝරු සංජීව ඩයස් යන මහත්වරුන්ගේ සෘජු අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වනු ලබයි.