නාවික හමුදාව අනතුරට පත් ධිවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන එයි
 

බේරුවල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “වික්ටෝරියා 4” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු අනතුරකට ලක්විම හේතුවෙන් ඊයේ (මාර්තු 02) කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව, ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයට අනුයුක්ත පී 480 වේග ප්‍රහාරක යාත්‍රාව ඒ සඳහා පිටත් කර යැවීමට කටයුතු කළ අතර, ගාල්ල ප්‍රදිපාගාරයේ සිට නාවික සැතපුම් 19 ක් පමණ දුරකදී රෝගියා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත ලබා ගැනීමෙන් අනතුරුව ඔහුට අවශ්‍ය මූලික ප්‍රථමාධාර ලබා දීමට කටයුතු කරන ලදී. ඒ අනුව රෝගියා නිරුපද්‍රිතව ගාල්ල වරාය පරිශ්‍රය වෙත රැගෙන ඒමට කටයුතු කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා ඔහු කරාපිටිය, ශික්‍ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කෙරිණි.