නීති විරෝධී කටයුතු වල නිරත වු පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය. ඒ අනුව නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් සිව්දෙනෙකු (4) සහ කේරළ ගංජා ළඟ තබා ගත් පුද්ගලයින් දෙදෙනෙකු (2) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව පසුගිය පෙබරවාරි 28 වන දින බටහිර නාවික විධා‍නයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ ගෝනහේන, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පිරිසක් එක්ව ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා ග්‍රෑම් 500 ක් ලඟ තබා පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.  ඒවා අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබී ඇති අතර, එම පුද්ගලයා සහ කේරළ ගංජා ඉදිරි නීතිමය කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස්, පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය මාර්තු 01 වන දින  මඩකලපුව, කළපු තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී සඟවා තැබූ තහනම් දැල් 15 ක් සොයා ගැනීමට සමත් විය. අඩි 150 ක පමණ දිගකින් යුක්ත එම තහනම් දැල් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.       

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව පසුගිය මාර්තු 01 වන දින බටහිර නාවික විධා‍නයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ ගෝනහේන, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පිරිසක් එක්ව වත්තල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා ග්‍රෑම් 750 ක් ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.  ඒවා අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබී ඇති අතර, එම පුද්ගලයා සහ කේරළ ගංජා ඉදිරි නීතිමය කටයුතු සඳහා මහබාගේ, පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය මාර්තු 02 වන දින පළුගස්තුරෛයි මුහුදු ප්‍රදේශයේදී සහ සේරක්කුලිය කළපු තීරයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගන්නා ලදි. එහිදී, ඔවුන් සතුව තිබී ඩිංගි යාත්‍රා දෙකක් සහ තහනම් දැල් දෙකක් අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයින්, ධීවර යාත්‍රාව සහ අනෙකුත් ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, සහකාර ධිවර අධ්‍යක්ෂ වෙත භාර දීමට කටයුතු කෙරිණි.

නැගෙනහිර නාවික විධානයට ලද තොරතුරකට අනුව එම විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය මාර්තු 02 වන දින පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 40 ක් සමඟ පුද්ගලයෙකු කොක්කාඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදි. ඒවා අලෙවි කිරීම සඳහා යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා, යතුරු පැදිය සහ මත්ස්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මූතුර්, ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.