නාවික හමුදාධිපතිතුමා නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඊයේ (මාර්තු 05) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා විසින් නාවික හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගත් අතර, නාවික හමුදා විශේෂ සම්මාන ආචාර මුරයක් ද එතුමා වෙත පුද කෙරිණි.

පළමුව නාවික හමුදාධිපතිතුමන්, තඨාකංගනයේ නාවික යුධායුද දෙපාර්තමෙන්තු ජැටිය සහ නාවික තඨාකංගනයේ සයිගෑන් ජැටියේ සිදු කරනු ලබන ව්‍යාපෘතීන් නිරීක්ෂණ කිරීමේ චාරිකාවාරයක නිරත වන ලද අතර, ඉන්පසුව නැගෙනහිර නාවික විධාන නිලධාරි නිවාසයේ අළුතින් ඉදි කරන ලද ගොඩනැගිල්ල එතුමන්ගේ සුරතින් විවෘත කරන ලදී.

ඉන් අනතුරුව, නැගෙනහිර නාවික විධානයේ නිලධාරින්ගේ සුභසාධනය සඳහා ඉදි කරන ලද නව නිලධාරි ආයතනය (Officer’s Institute) විවෘත කිරීමද නාවික හමුදාධිපතිතුමන්ගේ අතින් සිදු කරනු ලැබූ අතර, ඉදිකිරීම් කටයුතු සිදු කරන ලද නාවිකයින් සමග සුහද පිළිසඳරක නිරත වූ එතුමන් ඔවුන්ගේ සේවය ඇගයීමට ද එහිදී කටයුතු කරන ලදී. අවසන් වශයෙන් මෙම සංචාරය සනිටුහන් කරනු වස් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමන් විසින් නාවික හමුදාධිපතිතුමන් වෙත සමරු ඵලකයක් ද ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා සහ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියහ.